එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කුවේටයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා.

ඉරාන හමුදාව ප්‍රකාශ කළේ, 'සායිකා' මෙහෙයුමේ 31 වන අදියර යටතේ ඇමෙරිකානු සන්නිවේදන පද්ධති සහ ප්‍රහාරක යානා අංගන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේවෙතත්, ඉරානයේ මෙම ක්‍රියාව තම රටේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් කුවේටය ඊට දැඩි විරෝධය පළ කර සිටිනවා.

මේ අතර, ඊයේ රාත්‍රියේ එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් කලාපයේ පිහිටි කිසිදු ඇමෙරිකානු හමුදා කඳවුරකට හානියක් සිදුව නොමැති බවයි ඇමෙරිකානු නිලධාරීන් උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

අනෙක් පසින්, තායිස් නගරයට බටහිරින් පිහිටි පෙරමුණු කිහිපයකම යේමන රජයේ හමුදා සහ හූති කැරලිකරුවන් අතර දරුණු ගැටුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම, දකුණු ලෙබනනයේදී අත්අඩංගුවට ගත් ලෙබනන ජාතිකයන් පස්දෙනෙකු නිදහස් කිරීමට පියවර ගත් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය තහවුරු කර තිබෙනවා.