අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් රටවල් 13කට සහ යුරෝපා සංගමය වෙත නව ආනයන බදු පනවා තිබෙනවා.

කෙසේවෙතත් මෙලෙස අලුතින් බදු පැනවූ ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව නිදහස්ව තිබීම විශේෂත්වයක්.

නිෂ්පාදන අංශවල පවතින අධික ධාරිතාව සහ නිෂ්පාදන පිළිබඳව සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි අමෙරිකාව මෙම නව බදු පැනවීමට තීරණය කර ඇත්තේ.

බදු පැනවූ ලැයිස්තුවට ඇතුළත් වන්නේ යුරෝපා සංගමය සහ චීනය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය, ජපානය සහ ඉන්දියාව යන රටවල්.

මීට අමතරව බ්‍රසීලයෙන් ආනයනය කරන සීනි සහ නිමි ගුවන් යානා සඳහාද නව බදු පැනවීමට අමෙරිකාව සැලසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම නව ලැයිස්තුවට කැනඩාව ඇතුළත් නොවීමද කැපී පෙනෙනවා.

මෙම නව තීරණය යටතේ වැඩිම බදු ප්‍රතිශතයක් එනම් සියයට 40ක් දක්වා බද්දකට මුහුණ දීමට සිදුව ඇත්තේ චීනයටයි.

වියට්නාමයට සියයට 35ක් දක්වාද, සෙසු රටවලට සියයට 15ත් 25ත් අතර බදු ප්‍රතිශතයක්ද පනවා තිබෙනවා.

කෙසේවෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ඇතැම් රටවල් සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුම්වල පවතින බදු සීමාවන් හේතුවෙන්, සැබෑ ලෙසම අය කෙරෙන බදු මීට වඩා අඩු වනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජනාධිපති ට්‍රම්ප් හදිසි බලතල යටතේ පැනවූ බදු නීතිවිරෝධී බවට මේ වසරේ පෙබරවාරි මාසයේදී අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ හේතුවෙන් අමෙරිකානු සමාගම්වලට ඩොලර් බිලියන ගණනක බදු මුදල් ආපසු ගෙවීමටද සිදුවුණා.

ඒ අනුව, නීතිමය අභියෝගවලට ඔරොත්තු දිය හැකි වෙනත් නීතිමය ක්‍රමවේදයක් ඔස්සේ, පසුගිය මාර්තු මාසයේ සිට සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම නව බදු හඳුන්වා දී තිබෙනවා.

අමෙරිකානු වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් පවසන්නේ අනෙකුත් රටවල අසාධාරණ වෙළඳ පිළිවෙත් හමුවේ අමෙරිකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් කැප කිරීමට සූදානම් නොමැති බවයි.

අමෙරිකානු කම්කරුවන්ට රැකියා උත්පාදනය කිරීම සහ නිෂ්පාදන ක්ෂේත්‍රය නගා සිටුවීම මෙහි අරමුණ බව ධවල මන්දිරය පවසනවා.

ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම බදු, ඉදිරියේදී මියාමි හි පැවැත්වෙන ජී 20 සමුළුවේදී නව වෙළඳ ගිවිසුම්වලට එළඹීම සඳහා බලපෑම් කිරීමේ උපක්‍රමයක් ලෙස ට්‍රම්ප් යොදාගනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙම පියවර හේතුවෙන් අමෙරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය යළි ඇවිළෙනු ඇති බවටත්, අමෙරිකානු පාරිභෝගිකයින්ට භාණ්ඩ මිල ඉහළ යාමේ පීඩනයට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා.