“තායිවාන නිදහස” යන්නෙන් අදහස් කරන්නේ තායිවානය බීජිං (චීන) පාලනය යටතේ නොමැති බව සහ තායිවාන ජනතාවට පමණක් ඔවුන්ගේ අනාගතය තීරණය කළ හැකි බව යැයි තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති වැදගත් සමුළුවකින් පසුව ඔහු මෙම අදහස් පළ කළ අතර, එම සමුළුව හේතුවෙන් ඇමරිකාව තායිවානයට දක්වන සහයෝගය පිළිබඳව එරට තුළ යම් කනස්සල්ලක් මතුව තිබුණි.

ඇමරිකානු පිටුබලය මත පදනම්ව නිදහස කරා යාමට ඇමරිකාව තායිවානය දිරිමත් නොකරන බව ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබුණි.

ස්වයං පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ඇති තායිවානය තමන්ගේම භූමියක කොටසක් ලෙස චීනය සලකන අතර, තායිවානය නිල වශයෙන් නිදහස ප්‍රකාශ කළහොත් එහි පාලනය තමන් සතු කර ගැනීම සඳහා බලය භාවිතා කිරීමේ හැකියාව ද චීනය ප්‍රතික්ෂේප කර නැත.

එවන් පසුබිමක් තුළ තායිපේ නුවරදී ලායි අවධාරණය කළේ, 1999 වසරේ ඩිමොක්‍රටික් ප්‍රොග්‍රෙසිව් පක්ෂයේ (DPP) යෝජනාව මඟින් තායිවානය 'චීන සමූහාණ්ඩුව' ලෙස හැඳින්වෙන ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.

තායිවානයේ ස්වෛරීභාවයට කිසිදු හානියක් නොවිය යුතු බවත්, දිවයිනේ අනාගතය එහි ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් ඔහු තරයේ කියා සිටියේය.

එමෙන්ම ලායි පැහැදිලි කළේ “තායිවාන නිදහස” යන යෙදුමෙන් අදහස් කරන්නේ තායිවානය මහජන චීන සමූහාණ්ඩුවේ කොටසක් නොවන බව සහ චීන සමූහාණ්ඩුව සහ මහජන චීන සමූහාණ්ඩුව එකිනෙකාට යටත් නොවන බවත්ය.

පසුගිය වසර 70ක හෝ 80ක කාලය තුළ චීන සමූහාණ්ඩුව තායිවානය සමඟ ඒකාබද්ධ වී ඇති බව පෙන්වා දුන් ඔහු, ජාත්‍යන්තරව කුමන නමක් භාවිතා කළද, එයින් නියෝජනය වන්නේ තායිවානයේ සහ ඒ අවට දූපත්වල වෙසෙන මිලියන 23ක ජනතාව බව නැවතත් අවධාරණය කළේය.