ඉරානය සමඟ පැවැත්වූ සෘජු සාකච්ඡාවලින් පසු ඉන්දියානු ගෑස් නැව් දෙකකට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබී ඇති බැවින්, එම නාවික මාර්ගය නැවත විවෘත කිරීමට වඩාත් ඵලදායී ක්‍රමය යුධ නැව් නොව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා විය හැකි බව විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසයි.
''මම මේ මොහොතේ ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, මගේ සාකච්ඡාවලින් යම් ප්‍රතිඵල ලැබී තිබෙනවා,'' යැයි ජයිශංකර් ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
''මෙය අඛණ්ඩව සිදුවන්නක්. එයින් මට ප්‍රතිඵල ලැබෙන්නේ නම්, මම ස්වභාවිකවම එම ක්‍රමය දිගටම අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා.'' යනුවෙන් ද අමාත්‍යවරයා පැවසුවේය.
ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් දළ වශයෙන් පහෙන් එකක් (1/5) සාමාන්‍යයෙන් ගලා යන, ඉරානය සහ ගල්ෆ් රටවල් කිහිපයක් අතර පිහිටි පටු සමුද්‍ර සන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක ඔහුගේ මෙම අදහස් පළ විය.
මැදපෙරදිග ව්‍යාප්ත වන ගැටුම් මධ්‍යයේ ඉරානය මෙම නාවික මාර්ගය බොහෝ දුරට වසා දමා ඇති අතර, එමගින් තෙල් නැව් ගමනාගමනය අඩාල වී ලෝක බලශක්ති මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.
බටහිර රටවල් සහ ඇමරිකාව යුධමය පියවර ගැන සලකා බලන විට, ඉන්දියාව ඉරානය සමඟ ඇති සිය සමීප සබඳතාවය භාවිතා කරමින් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරයි.
ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් මැදපෙරදිගින් ලැබෙන බැවින්, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම ඉන්දීය ආර්ථිකයට දැඩි ලෙස බලපායි. එබැවින් තම නැව් වලට ආරක්ෂිත ගමන් මගක් සලසා ගැනීම ඉන්දියාවේ ප්‍රධාන ඉලක්කයයි.




