පාකිස්තානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නීතිවිරෝධී රන් කැණීම් හරහා මූල්‍ය අනුග්‍රහය ලැබෙන්නේද යන්න පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.
ඒ, රන් කැණීම්වලින් උපයන රුපියල් බිලියන ගණනක මුදල් සටන්කාමී ක්‍රියාකාරකම් සඳහා යොදවන බවට කයිබර් පක්තුන්ක්වා පළාත් ආණ්ඩුකාරවරයා කළ චෝදනාවත් සමඟයි.
එම පළාතේ කෝහාට් දිස්ත්‍රික්කයෙන් මසකට රුපියල් බිලියන 4.2ක් පමණ වටිනා රන් කිලෝග්‍රෑම් 90ක් පමණ කැණීම් කරන බවත්, ඉන් ලැබෙන ආදායමෙන් සියයට 80ක් පමණ ඇෆ්ගනිස්ථානය වෙත යන බවත් ආණ්ඩුකාර ෆයිසාල් කරීම් කුන්ඩි ප්‍රකාශ කළේය. ස්වාධීනව තහවුරු කර නොමැති මෙම චෝදනා එල්ල වූයේ, නීතිවිරෝධී රන් කැණීම්වලට එරෙහිව සිදුකළ මෙහෙයුමකදී ඇති වූ මාරාන්තික ගැටුමකින් පොලිස් නිලධාරීන් 10 දෙනෙකු සහ සටන්කාමීන් 18 දෙනෙකු මියගොස් දින කිහිපයකට පසුවය.
කයිබර් පක්තුන්ක්වා පළාත පුරා සිදුකෙරෙන සියලුම කැණීම් කටයුතු අත්හිටුවන බවත්, රන් කැණීම් බලපත්‍ර (බදු ගිවිසුම්) අවලංගු කරන බවත් ආණ්ඩුකාර කුන්ඩි නිවේදනය කළ බව ජියෝ නිවුස් වාර්තා කළේය. කැණීම් ප්‍රදේශවල ඇති බර යන්ත්‍රෝපකරණ දින හතක් ඇතුළත ඉවත් කර ගන්නා ලෙස බදුකරුවන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට නියෝග කර තිබේ. නීතිවිරෝධී කැණීම්කරුවන් තම කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා සටන්කාමී කණ්ඩායම්වලට කප්පම් මුදල් ගෙවා ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි.
එම මුදල් පසුව පාකිස්තානයට එරෙහි ත්‍රස්තවාදී සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට යොදාගෙන ඇති බවට ඔහු චෝදනා කළේය.
මෙම නීතිවිරෝධී කැණීම් සඳහා ට්‍රැක්ටර්, බර ඩම්පර් රථ සහ කම්කරුවන් දහස් ගණනක් යොදවා ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි. මසකට රුපියල් බිලියන 4.2ක් පමණ වටිනා රන් කැණීම් සිදුකරන පසුබිමක, වසර 10ක කැණීම් බලපත්‍රයක් රුපියල් බිලියන 4.92කට ලබා දුන්නේ කෙසේද යන්න පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය.
ආණ්ඩුකාරවරයාගේ මෙම ප්‍රකාශයන් හරහා ඛනිජ සම්පත් නියාමනය කිරීමේ ක්‍රියාවලිය සහ කැණීම් ආදායම් සන්නද්ධ කණ්ඩායම් අතට පත්වීමේ හැකියාව පිළිබඳව බරපතළ ගැටලු මතුව තිබේ.




