අලුතින් පැතිර යන සරම්ප වසංගත තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශය තුළ ළමුන් 1,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබියදී පවා රෝගීන් වාර්තා වීම නැවත ඉහළ යමින් පවතී.

එරට ළමුන් මිලියන 19.8කට අධික සංඛ්‍යාවකට මේ වන විටත් එන්නත් ලබා දී තිබුණද, දිනකට සරම්ප වැළඳුණු බවට සැකකෙරෙන අලුත් රෝගීන් 1,000ක් පමණ වාර්තා වෙමින් පවතී.

මෙතෙක් එන්නත ලබාගෙන නොමැති ළමුන් වෙත ළඟා වීම සඳහා එළඹෙන සැප්තැම්බර් 26 වනදා සිට රජය විසින් දැඩි හා වේගවත් එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව යුනිසෙෆ් සංවිධානය BBC පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, මෙවසරේ මාර්තු මාසය දක්වාම බංග්ලාදේශය සරම්ප රෝගය මුලිනුපුටා දැමීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබුණි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ මේ වසරේ ලොව වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ රට බවට බංග්ලාදේශය පත්ව ඇති බවයි.

ශ්වසනය, කැස්ස හෝ කිවිසුම් යාම මගින් ශීඝ්‍රයෙන් පැතිර යන මෙම රෝගය, පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා පුද්ගලයින් 194,000කට අධික සංඛ්‍යාවකට වැළඳී ඇති බව රජයේ නවතම වාර්තා තහවුරු කරයි. ඉකුත් අඟහරුවාදා දිනයේ පමණක් සරම්ප වැළඳුණු බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබේ.

මිලියන 178ක ජනගහනයක් වෙසෙන මෙම දකුණු ආසියානු රට තුළ මාර්තු මාසයේ සිට වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. අධික ජනගහනය සහ කොවිඩ් වසංගත සමයේදී නිත්‍ය එන්නත්කරණ කටයුතු ප්‍රමාද වීම ඇතුළු කරුණු කිහිපයක් මෙලෙස රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමට ප්‍රධාන හේතු වූ බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එමෙන්ම, බංග්ලාදේශයේ හිටපු අතුරු පාලක මුහම්මද් යුනුස්ගේ රජය පසුගිය වසරේදී එන්නත් ඇණවුම් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් එන්නත් හිඟයක් ඇති වූ බවට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර චෝදනා කර තිබුණි.