රුපියල් කෝටි 915 ක වටිනාකමකින් යුත් ගිවිසුමකට අනුව බංග්ලාදේශ දුම්රිය සේවය වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන 'බ්‍රෝඩ් ගේජ්' (Broad-Gauge) වර්ගයේ මැදිරි 200 න් පළමු මැදිරි 18 හි තොගය අපනයනය කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
2027 දෙසැම්බර් මස වන විට සමස්ත මැදිරි ප්‍රමාණය ලබාදී අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් මෙම පළමු තොගය යවා ඇත.
ඉන්දීය දුම්රිය සේවයේ අපනයන අංශය වන 'රයිට්ස් ලිමිටඩ්' ආයතනය සඳහන් කළේ, මෙම පළමු මැදිරි තොගය පන්ජාබයේ කපුර්තාලා හි පිහිටි 'රේල් කෝච් ෆැක්ටරි' නිෂ්පාදනාගාරයෙන් පිටත් කර හැරි බවයි.
මෙම ගිවිසුම යටතේ සපයනු ලබන මැදිරි වර්ග හතෙන් වර්ග හතරකට අයත් මැදිරි මෙම පළමු තොගයට ඇතුළත් වේ. ඒ අනුව, වායුසමනය නොකළ මැදිරි 11 ක්, වායුසමනය කළ ආසන මැදිරි 3 ක්, වායුසමනය කළ නිදන මැදිරි 2 ක් සහ වායුසමනය කළ බලවේග මැදිරි 2 ක් ඊට ඇතුළත් ය. අදාළ බලවේග මැදිරි තුළ ආරක්ෂකයින් සඳහා වෙන්වූ කාමර සහ භාණ්ඩ ගබඩා කිරීම සඳහා වෙනම ඉඩකඩ ද වෙන්කර තිබීම විශේෂත්වයකි.
මෙම මුල් තොගය පිටත් කර හැරීම සම්බන්ධයෙන් X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් රයිට්ස් ආයතනය සඳහන් කර ඇත්තේ, මෙය තම සමාගමේ විදේශීය අපනයන සේවාවන්හි තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් බවයි.




