යුක්රේනයේ හඳුනාගත් ඉලක්ක වෙත රුසියාව තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
කියෙව් නගර මධ්‍යයේ පිහිටි යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානය වෙත ද රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ.
මෙම ප්‍රහාරයේදී ඩ්‍රෝන යානයක් යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානය හෙවත් SBU ගොඩනැගිල්ලට කඩා වැටී තිබෙනවා.
යුක්රේන ආරක්ෂක සේවා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් පොක්ලාඩ් භාවිත කළ කාර්යාලයක් ඉලක්ක කර රුසියාව මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
කෙසේ වෙතත් ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පොක්ලාඩ් එම ගොඩනැගිල්ලේ සිටියේද යන්න පිළිබඳ තවමත් තහවුරු කළ තොරතුරක් නැහැ.
නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් රුසියාවට සුදුසු සහ දරුණු ප්‍රතිප්‍රහාරයක් සිදුකරන්නැයි පොක්ලාඩ් වෙත එහිදී උපදෙස් දුන් බවයි යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ.
ප්‍රහාරයෙන් පසු යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානය වෙත හදිසි සේවා කණ්ඩායම් යොදවා තිබෙනවා.
බලපෑමට ලක්වූ පුද්ගලයින්ට වහාම අවශ්‍ය සහාය ලබාදීම සඳහායි මෙම හදිසි කණ්ඩායම් යොදවා ඇත්තේ.
තවද, ප්‍රහාරයෙන් පසු ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල ගොඩනැගිල්ලේ ඉදිරිපස ජනේල කිහිපයකින් කළු දුමාරය පිටවන ආකාරය දැකගත හැකි වුණා.
මෙම ප්‍රහාරය සිදුවන්නේ රුසියා–යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකානු මැදිහත්වීමෙන් සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදීයි.
ප්‍රහාරයෙන් පසු එම සාකච්ඡාවලට කුමක් සිදු වේදැයි ද දැන් බොහෝ දෙනා විමසිල්ලෙන් පසු වනවා.




