මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් තීව්‍ර කරමින්, රතු මුහුදේ ගමන් කළ සෞදි අරාබියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට යේමනයේ හවුති සන්නද්ධ කණ්ඩායම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

නාසාහි චන්ද්‍රිකා ඡායාරූප මගින් ද තහවුරු වී ඇත්තේ සෞදි අරාබියට අයත් ‘එන්සෙලියා‘ නමැති නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවයි.

සෞදි අරාබියේ ‘අල් ෂුකෙයික්‘ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ හවුති සංවිධානය විසින් සෞදි නෞකාවලට එරෙහිව නාවික තහනමක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි.

මේ අතර, ඇමෙරිකානු හමුදාව විසින් අඛණ්ඩව 12 වන රාත්‍රියටත් ඉරානයේ හමුදා සහ නාවික ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

වෙළඳ නෞකාවලට ඉරානයෙන් එල්ල වන තර්ජන අවම කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඇමෙරිකානු මධ්‍යම බළකාය සඳහන් කරන්නේ.

එමෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ තහනම් මාර්ගයක ගමන් කිරීමට උත්සාහ කළ තෙල් ප්‍රවාහන නෞකාවක පිපිරීමක් සිදුවී ගින්නක් හටගත් බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා.

පවතින තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී කිසිදු නෞකාවකට තර්ජනයක් කළහොත්, ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේ පාලමක් හෝ බලශක්ති බලාගාරයක් විනාශ කරන බවයි.

ඇමෙරිකාව එසේ කළහොත් සමස්ත කලාපයේම පිහිටි ඇමෙරිකානු යටිතල පහසුකම් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත තමන් ප්‍රහාර එල්ල කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන බලධාරීන් පවසා තිබෙනවා.

මේ අතර, මෙම ගැටුම්වලදී ජීවිතක්ෂයට පත් වූ ඇමෙරිකානු සෙබළුන් සිව්දෙනාගේ දේහයන් වෙත අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ව ඇති අතර, ජනාධිපතිවරයෙකු ලෙස තමන් මුහුණ දුන් වඩාත්ම වේදනාකාරී අවස්ථාවක් ලෙස ඔහු එය හඳුන්වා දුන් බවයි සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ.