2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ 12 වැනි මිනිත්තුවේදී නායක හැරී කේන් එංගලන්තයට පෙරමුණ ලබා දුන්නද, මාර්ටින් බතුරිනා 36 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් සම කිරීමේ ගෝලය වාර්තා කළා.

පළමු අර්ධයේ අතිරේක කාලයේදී පෙටාර් මුසා ලබාගත් ගෝලයත් සමඟ ක්‍රොඒෂියාව තරගයේ වාසිය අතට ගැනීමට සමත් වුණා.

එහෙත් දෙවැනි අර්ධය ආරම්භ වූ වහාම ජූඩ් බෙලින්හැම් එංගලන්තය වෙනුවෙන් ගෝලයක් රැස් කරමින් ලකුණු තත්ත්වය 2-2ක් ලෙස සම කළා.

ඉන් අනතුරුව මාර්කස් රැෂ්ෆර්ඩ් සහ කේන් ලබාගත් ගත් ගෝල දෙකත් සමග එංගලන්ත කණ්ඩායම තරගය ජයගත්තා.

මේ අතර 2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලය හා කොංගො අතර පැවති තරගය සම වුණා. ඒ, කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන්.