සෞදි අරාබියේ රාජ්‍ය ආයෝජන අරමුදලේ මූලස්ථානය ද පිහිටි රියාද් අගනුවර උසම ගොඩනැගිල්ලට, යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් හානි සිදුව තිබෙනවා.
අසල්වැසි යේමනයේ සිවිල් යුද්ධය තවදුරටත් ඇවිලෙමින් තිබියදී සවුදි අරාබිය වෙත මෙලෙස ප්‍රහාර එල්ල වන්නේ.
එරට වේලාවෙන් ඊයේ අලුයම රියාද් අගනුවරින් ප්‍රබල පිපිරුම් හඬක් ඇසුණු බව එහි සිටින මාධ්‍යවේදීන් වාර්තා කළා.
ඒ සමඟම සිවිල් ආරක්ෂක අංශ "අනතුරුදායක තත්ත්වයක්" පිළිබඳව අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණු බවයි මාධ්‍යවේදීන් වැඩිදුරටත් පැවසුවේ.
එයින් මිනිත්තු කිහිපයකට පසුව අවදානම පහව ගිය බවට නැවත නිවේදනය කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෞදි හමුදා සන්ධානයේ ප්‍රකාශක තුර්කි අල්-මල්කි පැවසුවේ හූති සටන්කාමීන් රියාද් වෙත එල්ල කළ මිසයිල තර්ජනයක් සාර්ථකව මැඩපැවැත්වූ බවයි.
කෙසේ වෙතත්, විනාශ කළ මිසයිලයේ සුන්බුන් වැටීමෙන් දේපළ හානි සිදුව ඇති බවට මූලික තක්සේරු කිරීම්වලින් පෙනී යන බව ද ඔහු පැවසුවා.
ප්‍රහාරයෙන් හානි වූ ගොඩනැගිල්ල මහල් 80ක් සහිත මීටර් 385ක් උසැති එකක්.
එහි මහල් කිහිපයක පිටත ආවරණයට හානි වී ඇති අතර, ජනෙල් වීදුරු ද කැඩී ගොස් තිබෙනවා.
ඊට අමතරව, ගොඩනැගිල්ල අවට පිහිටි නේවාසික ගොඩනැගිලි කිහිපයක ද වීදුරු බිඳී ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
කෙසේ වෙතත්, පසුගිය සැප්තැම්බර් මස මුල සිට මෙම ගොඩනැගිල්ලේ සේවකයින් බහුතරයක් නිවසේ සිට රාජකාරි කිරීම හේතුවෙන් සිදුවිය හැකිව තිබූ විශාල ජීවිත හානියක් වැළකී ගොස් තිබෙනවා.
ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිල්ලේ මූලස්ථානය පිහිටි සෞදි අරාබියේ රාජ්‍ය ආයෝජන අරමුදල එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සභාපතිත්වයෙන් යුත් ආයතනයක්.
එහි වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 900කට වඩා වැඩියි.
එය ලොව විශාලතම අරමුදල්වලින් එකක් ලෙසද සැලකෙනවා.
මේ අතර, යේමන දේශසීමාවට ආසන්න සෞදි අරාබියේ දකුණු ප්‍රදේශයට හූති කැරලිකරුවන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
කෙසේවෙතත් ඒ සියල්ල විනාශ කළ බවයි සෞදි සන්ධානය පවසන්නේ.
මීට පෙර ද රියාද් සහ දකුණු ප්‍රදේශයට එල්ල වූ හූති ඩ්‍රෝන යානා දෙකක් සෞදි හමුදාව විසින් බිම හෙළා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නමුත් එදින පිපිරීමට පෙර සුපුරුදු පරිදි ජංගම දුරකථන හරහා අනතුරු ඇඟවීමේ පණිවිඩ නොලැබීම නිසා තමන් දැඩි ලෙස බියට පත් වූ බව රියාද් වැසියන් පවසනවා.
හූති හමුදා ප්‍රකාශක යාහ්යා සාරී සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ, තම කණ්ඩායම රියාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මූල්‍ය දිස්ත්‍රික්කය ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.




