නැගෙනහිර හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සහ උතුරු ඉන්දියන් සාගරය අතර මුහුදු කලාපයේ පූර්ණ පාලනය ඉරාන නාවික හමුදාව සතු බව එරට හමුදා ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ දිනට යෙදී තිබු ඉරාන නාවික හමුදා දිනය නිමිත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, නැගෙනහිර හෝමුස් සමුද්‍ර සන්ධියේ සිට උතුරු ඉන්දියන් සාගරය දක්වා විහිදෙන සමස්ත කලාපයේ අධිකාරී පාලනය සහ නිරීක්ෂණ කටයුතු ඉරාන නාවික හමුදාව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, ඕමානයේ කසාබ් (Khasab) වරාය ආසන්නයේ සහ නැගෙනහිර හෝමුස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බවල ගැටීමෙන් තෙල් ප්‍රවාහන නෞකා දෙකක් පුපුරා ගිනිගෙන ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කරනවා.

ඉරාන රාජ්‍ය විකාශන ආයතනය වන IRIB මගින් ප්‍රචාරය කළ එම නිවේදනයේ දැක්වෙන්නේ, ඉන් එක් නෞකාවක් මීට පැය කිහිපයකට පෙර කසාබ් වරායට පිවිසෙන ස්ථානයේදී මුහුදු බෝම්බයක ගැටී ඇති බවයි.

අනෙක් නෞකාව සමුද්‍ර සන්ධියට නැගෙනහිරින් පිහිටි අනවසර මාර්ගයක ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

හඳුනා නොගෙන එම ජල තීරය තරණය කිරීමේ අරමුණින් මෙම නෞකා දෙකම සිය ලුහුබැඳීමේ පද්ධති (tracking systems) ක්‍රියාවිරහිත කර තිබූ බවටද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික අංශය චෝදනා කර තිබෙනවා.

අදාළ මුහුදු මාර්ගයේ මුහුදු බෝම්බ විශාල වශයෙන් අතුරා ඇති බවට අනතුරු අඟවා ඇති එම නාවික අංශය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, එම මාර්ගය භාවිත කිරීමට උත්සාහ කරන නෞකාවලට අමෙරිකානු හමුදා ගුවන් සහාය මගින් පවා කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇති බවයි.