ඉරාන රජය නඩත්තු වන සියලුම ආර්ථික ජීවන මාර්ග සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමේ අරමුණින් ඉදිරියේදී එරටට එරෙහිව ඉතා දැඩි ආර්ථික සම්බාධක පැනවීමට කටයුතු කරන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා.
එවන් පසුබිමක් තුළ ඇමෙරිකාව එල්ල කරන මෙම ආර්ථික පීඩනය තවදුරටත් පැවතුණහොත් පර්සියානු කලාපයෙන් සිදුවන සමස්ත තෙල් අපනයනයම පූර්ණ ලෙස අත්හිටුවීමට පියවර ගන්නා බවට ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සින් රෙසායි අනතුරු අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ඇමෙරිකානු සම්බාධක සඳහා සහය දක්වන ඕනෑම රටක ක්රියාකලාපයක් ”යුදමය පියවරක්” ලෙස සලකන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ වත්මන් තත්ත්වය සහ නාවික ගමනාගමනය පිළිබඳව ඉරාන බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඕමාන විදේශ අමාත්‍ය සයියිඩ් බදර් අල්-බුසයිදි හෙට දිනයේ ටෙහෙරාන් නුවර වෙත ළඟාවීමට නියමිතයි.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබන විදේශීය නෞකාවලින්, ඉරානය සපයන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමේ විශේෂ පනත් කෙටුම්පතකට ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කාරක සභාවේ අනුමැතියද හිමිව තිබුණා.
මීට අමතරව, ගාසා තීරයේ මගාසි සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි ගබඩාවක් ඇතුළු ස්ථාන කිහිපයකට ඊශ්‍රායල හමුදාව විසින් මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.




