අමෙරිකානු හමුදා නයිජීරියාවටත් බහීයි -
IS ඉලක්ක රැසක් වනසමින් දරුණූ ප්‍රහාර

අමෙරිකානු සහ නයිජීරියානු ඒකාබද්ධ හමුදා මෙහෙයුමකින් අයි.එස්.අයි.එල්. (ISIL) ත්‍රස්තවාදීන් 175 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

අයි.එස්.යි.එල්. (ISIL) ත්‍රස්තවාදීන් සක්‍රීයව සිටින්නේ නයිජීරියාවේ ඊසානදිග කලාපයේයි.

ඔවුන් අඩපන කිරීම සදහා නයිජීරියානු හමුදා සමග ඒකාබද්ධව ඇමරිකානු අප්‍රිකානු බලකාය, එනම් ඇෆ්රිකොම් (AFRICOM) සංවිධානය මෙම ප්‍රහාර සිදුකළා.

ප්‍රහාරයෙන් අයි.එස්.අයි.එල්. (ISIL) ත්‍රස්ථ සංවිධානයේ දෙවැනි අණදෙන නිලධාරියා ලෙස සැලකෙන 'අබු බිලාල් අල්-මිනුකි' (Abu Bilal al-Minuki) සහ ඔහුගේ ප්‍රධාන සගයන් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බවයි නයිජීරියානු ජනාධිපති බෝලා අහමඩ් ටිනුබු (Bola Ahmed Tinubu) පැවසුවේ.

අයි.එස්.අයි.එල්. (ISIL) ත්‍රස්තවාදීන් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු මෙහෙයවූ 'අබ්දුල් වහබ්' ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නායකයින් තුන්දෙනෙකුද මෙහිදී මියගොස් තිබෙනවා.

ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන්ගේ මුරපොළවල්, අවි ගබඩා, සැපයුම් මධ්‍යස්ථාන සහ මූල්‍ය ජාල රැසක් ද සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි නයිජීරියානු ආරක්ෂක මූලස්ථානය කියා සිටියේ.

මේ අතර මෙහෙයුමෙන් පසු, නයිජීරියානු ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ස්තූතියක් ද පිරිනමා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඇමරිකාව ලබාදෙන නායකත්වය සහ නොසැලෙන සහයෝගය අගය කරන බවයි.

මැදපෙරදිග කලාපයේදී දැඩි පසුබෑමකට ලක්වූ අයි.එස්.අයි.එල්. ත්‍රස්තවාදීන් මේ වනවිට අප්‍රිකානු කලාපය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බවයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.