ඇවිළෙන යුද ගැටුම් මැද යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡාවට පැමිණෙන්නැයි යෝජනා කරමින්.

ලෝකයේ අවධානය වෙනතකට යොමු වනතුරු බලා සිටීම ඵලක් නොවන බවත්, සාමය උදා කරගත හැක්කේ දෙපාර්ශවය අතර සෘජු සාකච්ඡාවලින් පමණක් බවත් සෙලෙන්ස්කි මෙම ලිපියෙන් ප්‍රකාශ කර තිබෙනවා.

සාකච්ඡා පවත්වන කාලය තුළ සම්පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස, කරන ඉල්ලීමක් ද ලිපියේ ඇතුළත්.

කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මීට පෙර ප්‍රකාශ කළේ සටන් විරාමයකට තමන් එකඟ නොවන බවයි.

එසේ තිබියදී සෙලෙන්ස්කිගේ ලිපිය තමන්ට ලැබුණු බවත්, ඒ පිළිබඳ පුටින් දැනුවත් කරන බවත් ක්‍රෙම්ලිනය පවසනවා.

සෙලෙන්ස්කි සාකච්ඡා සඳහා මොස්කව් නුවරට පැමිණෙන්නේ නම් තමන් කැමති බවයි රුසියාව මීට පෙර පවසා තිබුණේ.

මේ අතර දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීමට තමන් සූදානම් වුවත්, ඒ සඳහා යුක්රේනය කැපකිරීම් කළ යුතු බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබෙනවා.

රුසියාව අල්ලාගෙන සිටින දොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කර්සන් සහ සපොරීෂියා යන ප්‍රදේශ හතරෙන් යුක්රේන හමුදා ඉවත් විය යුතු බවත්, යුක්රේනය නේටෝ සංවිධානයට එක්වීමේ උත්සාහය අත්හැරිය යුතු බවත් රුසියාවේ ප්‍රධාන කොන්දේසි වනවා.

නමුත් තම රටේ කිසිදු භූමියක් රුසියාවට පවරා නොදෙන බවට යුක්රේනය අවධාරණය කර තිබෙනවා.

මේ පිළිබද අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ නායකයන් දෙදෙනා හමුවී සාකච්ඡා කරන්නේ නම් එය ඉතාමත් හොඳ පියවරක් බවයි.

මෙම සාකච්ඡා ස්විට්සර්ලන්තය හෝ තුර්කිය වැනි මධ්‍යස්ථ රටක පැවැත්විය හැකි බව ද ප්‍රකාශ වී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඇති කර ගැනීමට යෝජිත, ඇමරිකාවේ සහායලත් සටන් විරාම ගිවිසුම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහි නායක නයිම් කාසම් ප්‍රකාශ කර ඇත්තේ, ගිවිසුමෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි ලෙබනනයට ”අපහාසාත්මක” සහ ”ඵලක් නොමැති” ඒවා බවයි.

හිස්බුල්ලා සාමාජිකයින්ට ඇතුළු විය නොහැකි ආරක්ෂිත කලාප ලෙබනනය තුළ පිහිටුවීම සහ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම නැවැත්වීම ඇතුළු කොන්දේසි කිහිපයක් ගිවිසුමට ඇතුළත්. නමුත්, හිස්බුල්ලා නායකයා පවසන්නේ මෙම කොන්දේසිවලට එකඟවීම යටත්වීමක් හා සමාන බවයි.

කෙසේවෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ පිළිබඳ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග මෙන්ම හිස්බුල්ලා පාර්ශවය සමඟ ද සාකච්ඡා කළ බවත්, සාමය උදෙසා යහපත් ප්‍රගතියක් ඇති වෙමින් පවතින බවයි.

ලෙබනනයට සාමය උදාවීම ඉතා වැදගත් බව ද ට්‍රම්ප් පවසා තිබෙනවා.

මේ අතර මෙම සටන් විරාම සාකච්ඡා මැද වුවද, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ ත්‍රස්තවාදී ඉලක්ක විනාශ කිරීම සඳහා ලෙබනනය තුළ තම හමුදා මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ දිනයේදීත් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම, ලෙබනනයේ සිටින එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සෙබළෙකු සහ ඊශ්‍රායල සෙබළෙකු ද ගැටුම්වලින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායල හමුදාවලට එරෙහිව ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර දිගටම එල්ල කරන බව ප්‍රකාශ කර තිබෙනවා.