ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පැවති තරගයකදී කටාර් කණ්ඩායම ගෝල 6-0ක් ලෙස පරාජය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට කැනඩාව සමත් වුණා.

කැනඩාව ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙයයි.

කෙසේ වෙතත්, මෙම ඓතිහාසික ජයග්‍රහණයේ සතුට යටපත් කරමින් කැනඩා මැදපෙළ ක්‍රීඩක ඉස්මායෙල් කෝනේ දරුණු ආබාධයකට ලක්ව තිබෙනවා.

කෝනේ පිටියෙන් ඉවතට රැගෙන යන අවස්ථාවේදී කැනඩා පුහුණුකරු ජෙසී මාර්ෂ් හැඬුම්බරව සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වැන්කුවර් නුවර පැවැති මෙම තරගයේදී කැනඩාව වෙනුවෙන් ජොනතන් ඩේවිඩ් විශිෂ්ඨ ගෝල ත්‍රිත්වයක් රැස් කළ අතර, සයිල් ලැරින් සහ නේතන් සාලිබා සෙසු ගෝල වාර්තා කළා.

මීට අමතරව කටාර් ක්‍රීඩකයෙකු අතින් ස්වයං විවේචනාත්මක ගෝලයක් ද කැනඩාවට හිමි වුණා.

තරගය පුරා දැඩි පසුබෑමකට ලක්වූ කටාර් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුටම රතු කාඩ්පත් හිමිවීම නිසා ඔවුන්ට තරගය නිමා කිරීමට සිදුවූයේ ක්‍රීඩකයින් 9 දෙනෙකු සමඟිනුයි.

මෙම අතිවිශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ කැනඩාව ‘ඊ‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

ඔවුන් සහභාගී වන මීලඟ තීරණාත්මක තරගය ලබන බදාදා, එනම් ජුනි 24 වනදා ස්විට්සර්ලන්තයට එරෙහිව වැන්කුවර්හිදී පැවැත්වීමට නියමිතයි.