කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පිහිටි එරට ප්‍රධානතම හමුදා පුහුණු කඳවුරක් වන ”වේන්රයිට්” හමුදා කඳවුරේ හටගත් ගින්නකින් ආරක්ෂක හමුදාවේ සාමාජිකයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගිනි ගැනීමෙන් තවත් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගෙන් 19 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඇල්බර්ටා ප්‍රාන්ත අගමැතිනි ඩැනියෙල් ස්මිත් සදහන් කරනවා.

එම හමුදා පුහුණු කදවුරේ භටයින් පිරිසක් සජීවී පතොරම් භාවිත කරමින් සිදුකළ පුහුණු මෙහෙයුමක් අතරතුරදී මෙම ගිනි ගැනීම හටගෙන ඇති බවටයි ඇතමුන් සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා අගමැති මාක් කාර්නි ප්‍රකාශ කළේ, සාමකාමී කාලපරිච්ඡේදයක් තුළ කැනඩා හමුදාව මුහුණ දුන් බරපතලම ඛේදවාචකයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

කෙසේවෙතත්, ගිනිගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

මේ වන විට ගින්න පාලනය කර ඇති අතර, නැවත ගිනිගැනීම් වැළැක්වීම සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.