ඇෆ්ගනිස්ථානයේ කෘෂිකර්ම, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය මව්ලවී අටවුල්ලා ඔමාරි ජූලි 7 වනදා සිට 12 වනදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ බවත්, එහිදී ඔහු ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් මහතා සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කරගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡා පැවැත්වූ බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය සඳහා ඇෆ්ගනිස්ථාන අමාත්‍යවරයා සමඟ එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් ද එක්ව සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙය 2025 ඔක්තෝබර් මාසයෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ සිට ඉන්දියාව බලා පැමිණි සිව්වන අමාත්‍ය මට්ටමේ සංචාරය වන අතර, එමඟින් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල "තිරසාර වර්ධනය සහ ප්‍රගතිය" මනාව පිළිබිඹු වන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

සංචාරය අතරතුරදී ඇෆ්ගනිස්ථාන අමාත්‍යවරයා, ඉන්දීය මධ්‍යම කෘෂිකර්ම හා ගොවි සුභසාධන සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් හමු විය.

"මෙහිදී දෙපාර්ශවයම දැනට ක්‍රියාත්මක වන ද්විපාර්ශ්වික සහයෝගීතාවන් සමාලෝචනය කළහ. එමෙන්ම කෘෂිකර්මාන්තය, වාරිමාර්ග කටයුතු, පශු සම්පත්, කෘෂිකාර්මික පර්යේෂණ, අධ්‍යාපනය, ධාරිතා වර්ධනය සහ කෘෂි වෙළඳාම යන ක්ෂේත්‍රයන්හි සබඳතා තවදුරටත් පුළුල් කරගත හැකි නව අවස්ථා පිළිබඳව ද නායකයන් දෙපළගේ අවධානය යොමු විය," යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.