ජනගහනය ලක්ෂ හයකටත් අඩු රාජ්‍යයක් වන කේප් වර්ඩේ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවදුරටත් පෙරළිකාර දක්ෂතා දක්වමින් සිටිනවා.
ප්‍රබල උරුගුවේ කණ්ඩායම සමඟ මියාමිහිදී අද පැවති තරඟය ගෝල 2ට 2ක් ලෙස ලකුණු සමව අවසන් කිරීමට ඔවුන් සමත් වුණා.
මීට පෙර ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමග තරඟයද ඔවුන් අවසන් කළේ ලකුණු සම කරමින්.
අද තරඟයේ 21 වැනි මිනිත්තුවේදී කේප් වර්ඩේ කණ්ඩායම සිය පළමු ගෝලය ලබා ගත්තා.
කේප් වර්ඩේ වෙනුවෙන් මෙම ගෝලය ලබා ගත්තේ කෙවින් පිනා විසින්.
ඉන් අනතුරුව උරුගුවේ කණ්ඩායම තරඟයට ප්‍රබල ලෙස අවතීර්ණ වූ අතර, මැක්සි අරවුජෝ සහ ඇගස්ටින් කැනෝබියෝ පළමු අර්ධය තුළම ගෝල දෙකක් ලබා ගත්තා.
ඒ අනුව පළමු අර්ධය නිමාවන විට ගෝල 2 ට 1ක් ලෙස තරඟයේ පෙරමුණ ගෙන සිටියේ උරුගුවේ කණ්ඩායමයි.
කෙසේ වෙතත් දෙවන අර්ධයේදී තවත් ගෝලයක් ලබා ගනිමින් කේප් වර්ඩේ කණ්ඩායම නැවතත් ලකුණු සම කළා.
කේප් වර්ඩේ වෙනුවෙන් මෙම ගෝලය ලබා ගත්තේ හීලියෝ වරෙලා විසින්.
තරඟයේ අවසාන මිනිත්තු කිහිපයේදී උරුගුවේ කණ්ඩායම තවත් ගෝලයක් ලබා ගත්තා.
එහෙත්, නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම ගෝලය අවලංගු කෙරුණා.
තරඟය 2ට 2ක් ලෙස ලකුණු සමව අවසන් වූයේ ඒ අනුවයි.
තරගාවලියේ අවසන් තිස් දෙදෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව කණ්ඩායම් දෙකටම තවදුරටත් විවෘතව තිබෙනවා.
මේ අතර අද පැවති තවත් තරගයකදී ගෝල තුනට එකක් ලෙස නවසීලන්තය පරාජය කිරීමට ඊජිප්තුව සමත් වුණා.
රට වෙලාගත් යුද ගැටුම් තවමත් පවතිද්දි ඉරාන පාපන්දු කණ්ඩායමද තවත් තරගයකට අද සහභාගි වූ අතර එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ බෙල්ජියමයි.
තරඟය කිසිවෙකු ගෝල නොලබා සම තත්ත්වයෙන් අවසන් වුණා.




