ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇති වූ හදිසි සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන්, අමෙරිකා එක්සත් ජනපදය පුරා සියලුම ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට එරට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) පියවර ගෙන තිබෙනවා.

"සුවිශේෂී තත්ත්වයක් මත සහ මගී ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්" මෙම තීරණය ගත් බවයි අමෙරිකානු ගුවන් සේවා බලධාරීන් නිවේදනය කර ඇත්තේ.

කලාපීය ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල සහ ගුවන් නියමුවන් අතර සිදුවන රේඩියෝ සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල වීම මීට හේතු වී තිබෙනවා.

මේ හේතුවෙන් මේ වන විටත් ගුවන් ගමන් වාර 10,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වී හෝ අවලංගු වී ඇති අතර, අමෙරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක කටයුතු අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මේ වන විට ගුවනේ පවතින යානා ආරක්ෂිතව ගොඩබෑමට පියවර ගනිමින් සිටින බව බලධාරීන් තහවුරු කර තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම අමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත හෝ සයිබර් ප්‍රහාරයක් බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් නොමැති බව එරට ස්වදේශ ආරක්ෂක ලේකම් මාර්ක්වේන් මුලින් (Markwayne Mullin) ප්‍රකාශ කළා

. "සෑම දෙනාම ආරක්ෂිතයි. මෙය තවත් 'සැප්තැම්බර් 11' වැනි ප්‍රහාරයක් නොවෙයි" යනුවෙන් ඔහු මහජනතාවට සහතික වී තිබෙනවා.

එය හුදෙක් තාක්ෂණික සන්නිවේදන බිඳවැටීමක් පමණක් බව පෙන්වා දෙන ස්වදේශ ආරක්ෂක ලේකම්වරයා, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවද සඳහන් කළා.