ලොව පුරා මිලියන 430කට අධික පිරිසකගේ දෛනික කටයුතු අඩපණ කරමින් පැය 22කට අධික කාලයක් පුරා පැවති මයික්‍රොසොෆ්ට් පද්ධති බිඳවැටීමත් සමඟ, ලෝකය ප්‍රධාන තාක්ෂණික සමාගම් කිහිපයක් මත අධික ලෙස යැපීමේ අවදානම පිළිබඳව නව කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
අවුට්ලුක් ඇතුළු මයික්‍රොසොෆ්ට් 365 සේවාවන් රැසකට බලපෑ මෙම බිඳවැටීමට හේතු වී ඇත්තේ, සාමාන්‍ය ස්වයංක්‍රීය පරීක්ෂාවක් අතරතුර ඇතැම් සර්වර් පද්ධති අක්‍රිය වීමෙන් ඉතිරි සර්වර් වෙත අධික දත්ත තදබදයක් එල්ල වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
රටවල් 70කට අධික සංඛ්‍යාවකින් මෙම තාක්ෂණික දෝෂය වාර්තා වූ අතර, අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ, සිංගප්පූරුවේ අධිකරණ පද්ධති සහ ඉන්දියාවේ ගුවන් සේවා සහායක කවුළුවල කටයුතුවලට පවා ඉන් දැඩි බාධා එල්ල වුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කළේ, මෙය සයිබර් ප්‍රහාරයක් නොව තාක්ෂණික දෝෂයක් බවයි.
පවතින අධික ඉල්ලුම හමුවේ පද්ධති ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත් කිරීමට පියවරෙන් පියවර කටයුතු කළ බැවින් ඒ සඳහා සම්පූර්ණ දිනයකට ආසන්න කාලයක් ගත වූ බවද එම සමාගම සඳහන් කළා.
කෙසේ වෙතත්, කුඩා ව්‍යාපාරවල සිට රාජ්‍ය පාලන තන්ත්රය දක්වා සියලු අංශ මහා පරිමාණ තාක්ෂණික සමාගම් කිහිපයක් මත රඳා පැවතීම ඉතා අවදානම් බව තාක්ෂණික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.




