විදේශයන්හි මිලිටරි කඳවුරු පිහිටුවමින් සිය හමුදා ශක්තිය ප්රදර්ශනය කිරීමට චීනය වඩාත් සක්රීයව පියවර ගනිමින් සිටියි. මෙහි නවතම පියවර ලෙස, ලාඕසයේ වියෙන්ටියන් අගනුවර ආසන්නයේ පිහිටි Ban Keun ගුවන් තොටුපළෙහි ලාඕසය සමඟ ඒකාබද්ධ සහය සහ පුහුණු මධ්යස්ථානයක් පිහිටුවා ඇති බව බීජිං හි ජාතික ආරක්ෂක අමාත්යාංශය මගින් ප්රකාශයට පත්කර ඇත.
ජිබුටි සහ කාම්බෝජයේ පවතින හමුදා පහසුකම් මෙන් නොව, චීනය ප්රසිද්ධියේ සහ නිල වශයෙන් පිළිගත් ප්රථම විදෙස් මිලිටරි කඳවුර මෙය වීම විශේෂත්වයකි. මෙම පියවර හරහා අග්නිදිග ආසියාතික කලාපයේ ආරක්ෂක සහ භූ-දේශපාලනික වාතාවරණය කෙරෙහි ප්රබල බලපෑමක් එල්ල වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
CNN නාලිකාව මගින් ලබාගෙන විශ්ලේෂණය කරන ලද චන්ද්රිකා ඡායාරූපවලට අනුව, මෙම නව කඳවුරෙහි මීටර් 2,000 ක දිගින් යුත් ධාවන පථයක්, ටැක්සි මාර්ගයක් සහ ගුවන් යානා 22 ක් නැවැත්විය හැකි අංගනයක් අලුතින් ඉදිකර ඇත. මෙම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සීඝ්රයෙන් සිදුවන බව ද වාර්තා වේ. මීට අමතරව, චීන-පාකිස්තාන ඒකාබද්ධ නිෂ්පාදනයක් වන Hongdu JL-8 (K-8) වර්ගයේ පුහුණු සහ සැහැල්ලු ප්රහාරක ජෙට් යානා අටක් සහ ආධාරක රථ 25 කට අධික ප්රමාණයක් ද මෙම පරිශ්රයේ ඇති බව විදෙස් ජනමාධ්ය වාර්තා සනාථ කරයි. ලාඕස හමුදාව සතුව ද මෙවැනි ගුවන් යානා පැවතිය ද, චන්ද්රිකා ඡායාරූපවල දක්නට ලැබෙන සංඛ්යාවට වඩා අඩු ප්රමාණයක් ඔවුන් සතුව තිබූ බැවින්, මෙම අමතර යානා චීනයෙන් සැපයූ ඒවා හෝ අලුතින් මිලදී ගත් ඒවා විය හැකි බව අනුමාන කෙරේ.
කෙසේ වෙතත්, මෙම මධ්යස්ථානය පිහිටුවීමේ එකම අරමුණ ලාඕස ගුවන් හමුදා නියමුවන් පුහුණු කිරීම, ප්රායෝගික හමුදා සහයෝගීතාව ඉහළ නැංවීම සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය තහවුරු කිරීම බව චීනය ප්රකාශ කර ඇත. චීනයේ මෙම ප්රකාශය සාධාරණ ලෙස පෙනී ගියද, ඇමරිකා එක්සත් ජනපදය ලොව පුරා පවත්වාගෙන යන හමුදා කඳවුරු පද්ධතිය දැඩි ලෙස විවේචනය කළ චීනයේ පූර්ව ස්ථාවරයන් සමඟ මෙය එකඟ නොවන බව විදේශ විචාරකයෝ පෙන්වා දෙති.
ලාඕසයේ මෙම මිලිටරි කඳවුර පිහිටුවීම, චීනයේ ව්යාප්ත වන විදේශීය හමුදා බලපෑමේ නවතම සන්ධිස්ථානයකි. චීනය සිය ප්රථම විදේශීය මිලිටරි මධ්යස්ථානය 2017 වසරේදී ජිබුටි රාජ්යයේ පිහිටුවූ අතර, රතු මුහුදට පිවිසෙන බාබ් අල්-මන්දාබ් සමුද්ර සන්ධිය අසල පිහිටි එම කඳවුර අදටත් චීනය සතු දුරස්ථම විදෙස් හමුදා කඳවුර ලෙස පැවතෙයි.




