සී එන් එන්, එම් එස් නව් සහ පොලිටිකෝ යන ප්‍රමුඛ මාධ්‍ය ආයතන තුන සඳහා වන නියෝජිතයින්ට ධවල මන්දිරයට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්.

තමන්ගේ ටෲත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අදාළ මාධ්‍ය ආයතන මගින් තම පරිපාලනය පිළිබඳව දිගින් දිගටම අසත්‍ය සහ ප්‍රබන්ධ වාර්තා කරන බවයි.

කෙසේ වෙතත්, එම චෝදනාවලට අදාළව කිසිදු නිශ්චිත උදාහරණයක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නැහැ.

පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙය ”ඉතා සරල තහනමක්” ලෙස ජනාධිපති ට්‍රම්ප් හැඳින්වුවද, මෙම තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුර විස්තර හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර, ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව සී එන් එන් මාධ්‍ය ජාලය වහාම ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ඇමෙරිකානු මාධ්‍යයට එල්ල කළ ”නීති විරෝධී ප්‍රහාරයක්” බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී ට්‍රම්ප්ගේ මෙම පියවරට එරෙහිව අදාළ මාධ්‍ය ආයතන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවයි විදෙස් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.