දකුණු අප්‍රිකාවේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ක්වාසුලු-නටාල් පළාතේ පීටර්මරිට්ස්බර්ග් නගරයට ආසන්න ප්‍රදේශයක ගමන් කරමින් තිබූ සුදු පැහැති කුඩා වෑන් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ රථයට වෙඩි උණ්ඩ රැසක් එල්ල වී තිබූ බවත්, ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම සිදුවීමෙන් පැය කිහිපයකට පසු බටහිර ප්‍රිටෝරියාහි ඇටරිජ්විල් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ සිදුවූ තවත් වෙඩි තැබීමකින් පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව දකුණු අප්‍රිකානු පොලිසිය ප්‍රකාශ කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ බුද්ධි අංශ ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව වැඩිම මිනීමැරුම් අනුපාතයක් පවතින රටවල් අතරට අයත් වන දකුණු අප්‍රිකාවේ නීතිවිරෝධී ගිනිඅවි භාවිතය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් හේතුවෙන් මෙවැනි සමූහ වෙඩි තැබීම් බහුලව වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් සහ ජුනි මාස අතර කාලය තුළ පමණක් එරටින් මිනීමැරුම් 5,427ක් වාර්තා වී ඇති අතර, එය දිනකට සාමාන්‍යයෙන් මිනීමැරුම් 60ක් පමණ වන බවයි නවතම පොලිස් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.