මැදපෙරදිග පවතින දැඩි උණුසුම් තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බව කටාර් විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඩ් අල්-අන්සාරි පවසනවා.

ඔහු ඇමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙම අර්බුදය තවදුරටත් පැවතුණහොත් ලෝකය දැවැන්ත කර්මාන්ත කඩාවැටීමකට මුහුණ දෙනු ඇති බවයි.

මේ අතර ඇමෙරිකාව සහ ඉරානය විසින් නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලින් පසුව, පසුගිය දින 10 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇත්තේ දිනකට වෙළෙඳ නෞකා 10ක් වැනි අවම සංඛ්‍යාවක් බව ණචකැර දත්ත පෙන්වා දෙනවා.

එවන් පසුබිමක් තුළ මැදපෙරදිග නෞකා මාර්ග ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 97 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙය පසුගිය සති 06ක කාලය තුළ වාර්තා වූ ඉහළම තෙල් මිල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඊශ්‍රායල හමුදා විසින් දකුණු ලෙබනනයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කර තිබෙනවා.

සිදුකළ නවතම ප්‍රහාරවලින් බිළිඳුන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.