2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සිදු කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමේ සාර්ථක අමෙරිකානු මෙහෙයුම අධීක්ණය කළ අමෙරිකානු ජනාධිපතිවරයා සමග සිය නොබෙල් සම්මානය හුවමාරු කර ගැනීමට තමන් කැමති බව මචාඩෝ පසුගියදා විදෙස් රූපවාහිනි වැඩසටහනකදී පවසා තිබුනා.

එහිදී අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමන්ට හිමිවූ නොබෙල් සම්මානය වෙනිසියුලානු ජනතාවගේ ත්‍යාගයක් බවත් එය අමෙරිකානු ජනාධිපතිවරයා සමග හුවමාරු කර ගැනීමට තමන් සූදානම් බවය. එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම මෙහෙයුම ඓතිහාසික සහ එය ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියක් කරා තැබූ දැවැන්ත පියවරක් වන බවයි.

ඇගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නෝර්විජියානු නොබෙල් ආයතනය සඳහන් කර ඇත්තේ නෙබෙල් සාම ත්‍යාගය මාරු කිරීමට, බෙදා ගැනීමට හෝ අවලංගු කිරීමට නොහැකි බවයි.

නොර්විජියානු නොබෙල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ නොබෙල් පදනමේ ප්‍රඥප්ති අනුව ත්‍යාගයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ත්‍යාග ප්‍රධානය කිරීමේ ආයතනයක තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බවත් ස්ටොක්හෝම් සහ ඔස්ලෝ හි ත්‍යාග ප්‍රදානය කිරීමේ කමිටුවලින් කිසිවක් වරක් ප්‍රදානය කරන ලද ත්‍යාගයක් අවලංගු කිරීම් ගැන සලකා බලා නොමැති බවයි.