පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ පක්ටිකා පළාත් ඉලක්ක කරගනිමින් පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාර දැඩි ලෙස හෙළාදකින හිටපු ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි, මෙම ක්‍රියාව ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දී ඇත.

මෙම ගුවන් ප්‍රහාරවලින් පසු අදහස් දැක්වූ කර්සායි, මියගිය පවුල්වල ඥාතීන් වෙත ශෝකය පලකළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

පාකිස්තානය මේ වන විට මුහුණ දෙන අභ්‍යන්තර ආරක්ෂක අභියෝගවලට ප්‍රධාන හේතුව ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන වැරදි ප්‍රතිපත්ති බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, යහපත් අසල්වැසි සබඳතාවන්ට මුල්තැන දෙමින් ඉස්ලාමාබාද් පාලනය සිය ප්‍රවේශය නැවත සමාලෝචනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවසීය.

පාකිස්තාන හමුදාව කුනාර් සහ පක්ටිකා යන ප්‍රදේශවල සිදුකළ ගුවන් බෝම්බ හෙලීම්වලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවට ඇෆ්ගන් බලධාරීන් කළ ප්‍රකාශයන්ගෙන් අනතුරුව හමීඩ් කර්සායි මෙම අදහස් පළ කර තිබේ.

X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් කර්සායි කියා සිටියේ, සිය රටේ සහෝදරයින් පිරිසක් අනුකම්පාවකින් තොරව ඝාතනයට සහ තුවාල ලැබීමට හේතු වූ පාකිස්තානයේ මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවය බරපතල ලෙස බලපෑම් එල්ල කිරීමක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.