ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ද්විතීයික පාසල් 10ක් සහ විශ්වවිද්‍යාල 05ක් ආසන්නයේ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නොවැම්බර් 16 වැනිදා සිට 20 වැනිදා දක්වා දින 05ක කාලයක් මෙම තහනම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, අදාළ අධ්‍යාපන ආයතනවල සිට මීටර් 100ක සීමාව තුළ අනවසරයෙන් රැස්වීම් පැවැත්වීම හෝ පාගමන් යාම සම්පූර්ණයෙන්ම තහනම් වන බව පැරිස් පොලිස් ප්‍රධානී පැට්රිස් ෆෝරේ (Patrice Faure) ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය සති කිහිපය පුරා අධ්‍යාපන ආයතන අසල සිදුවූ අවහිර කිරීම්, පොදු දේපළවලට හානි කිරීම සහ නොනවතින ප්රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ද්විතීයික පාසල්වල පවතින දුර්වල තත්ත්වයන්ට එරෙහිව පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රංශය තුළ මෙම විරෝධතා රැල්ල ආරම්භ වුණා.
පසුව එය විශ්වවිද්‍යාල සිසුන්, කම්කරුවන් සහ ජීවන වියදමට එරෙහිව නැගී සිටින 'යෙලෝ-වෙස්ට්' (Yellow-vest) ව්‍යාපාරය දක්වා ව්‍යාප්ත වූ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර, පසුගිය සෙනසුරාදා දිනයේදීත් ප්‍රංශය පුරා පුද්ගලයින් 106,000ක් පමණ වීදි බැස විරෝධතාවල නිරත වී ඇති අතර, ඉන් 24,000ක් පමණ පැරිස් නුවරට රැස්ව සිටි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත්, පෙර සතිවලට සාපේක්ෂව මෙවර විරෝධතාකරුවන්ගේ සහ අත්අඩංගුවට ගැනීම්වල යම් අඩුවක් දක්නට ලැබුණු බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
පසුගිය සෙනසුරාදා පැරීසියේ 45 දෙනෙකු ඇතුළුව රට පුරා පුද්ගලයින් 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විරෝධතා ආරම්භ වූ දා සිට මේ දක්වා පැරිස් නුවරින් පමණක් අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 1,548ක් බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.




