ඉන්දියාව විසින් මාලදිවයින වෙත ලබා දී තිබූ ඉන්දියානු රුපියල් කෝටි 3,000 ක මුදල් හුවමාරු පහසුකම තවදුරටත් දීර්ඝ කිරීමට අනුමැතිය ලබා දී ඇති බව මාලදිවයිනේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

සාර්ක් රටවල් සඳහා වන මුදල් හුවමාරු වැඩරාමුව යටතේ මෙම පහසුකම දීර්ඝ කරන ලෙස මාලදිවයින් රජය කළ ඉල්ලීමට ඉන්දීය රජයේ අනුමැතිය හිමිව තිබේ.

2024 ඔක්තෝබර් මාසයේදී මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ඉන්දීය නිල සංචාරය අතරතුර, ඉන්දීය මහ බැංකුව සහ මාලදිවයින් මුදල් අධිකාරිය අතර මේ සම්බන්ධයෙන් වූ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කරනු ලැබීය. ඒ අනුව, ඉන්දියානු රුපියල් බිලියන 30 ක මුල් වාරිකය 2026 අප්‍රේල් 23 වන දින මාලදිවයින වෙත මුදාහැරිණි.

2024-27 කාලසීමාව සඳහා වන මුදල් හුවමාරු රාමුව යටතේ ක්‍රියාත්මක වන මෙම ද්විපාර්ශ්වික ගිවිසුම මඟින් පොලී අනුපාත සහ අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන් සහන රැසක් හිමිවන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

2012 වසරේදී මෙම වැඩරාමුව හඳුන්වා දුන් අවස්ථාවේ සිට ඉන්දීය රිසර්ව් බැංකුව විසින් මාලදිවයින වෙත ඇමරිකානු ඩොලර් බිලියන 1.1 කට අධික මුදල් හුවමාරු සහයක් ලබා දී ඇත. මෙම මුදල් හුවමාරු පහසුකමට අමතරව, මාලදිවයින විසින් නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 250 ක සහ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක අගයෙන් යුත් දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර දෙකක් ද ඉන්දියාව විසින් මිලදී ගෙන තිබේ.

තවද, ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් වටිනා භාණ්ඩාගාර ආයෝජන පත්‍රිකා තුනක් සඳහා ද ඉන්දියාව දායක වී ඇති අතර, මාලදිවයින විසින් ඒ සඳහා වන ගෙවීම් දැනටමත් පියවා අවසන් කර ඇත.

එමෙන්ම, මෙයින් මතුවූ පොලී මුදල් වෙනුවෙන් ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් මිලියන 42.8 ක මුදලක් ගෙවා ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මාලදිවයිනේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ඉන්දියාවේ මෙම මුදල් හුවමාරු පහසුකම මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර සහ ආයෝජන පත්‍රිකා සඳහා වූ දායකත්වය බෙහෙවින් ඉවහල් වී තිබේ.