මෙක්සිකෝවේ පළමු ප්‍රධාන මත්ද්‍රව්‍ය කල්ලියක් වූ ‘ගුවාඩලජාරා‘ කල්ලියේ නිර්මාතෘ මිගෙල් ඇන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මියයන විට ඔහු 80 වන වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින දෙකකට පෙර ගුවාඩලජාරා නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි ඔහු, ශරීරයේ අවයව කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රාදේශීය ආරක්ෂක බලධාරීන් පවසනවා.
1985 වසරේදී අමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජිතයෙකු වූ එන්රික් ”කිකී” කැමරේනා සහ මෙක්සිකානු ගුවන් නියමුවෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඔහු, එරට සිටි වඩාත්ම කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසයි සැලකෙන්නේ.
1989 වසරේ සිට ජලිස්කෝ ප්‍රාන්තයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි ඔහුට, පිරිහෙමින් පැවති සෞඛ්‍ය තත්ත්වය මත නිවාස අඩස්සියේ තබන ලෙස ඔහුගේ නීතිඥයින් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබුණා.
1946 වසරේ සිනලෝවා ප්‍රාන්තයේ උපත ලැබූ ගැලාර්ඩෝ, මුලින් පොලිස් නිලධාරියෙකු සහ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයෙකුගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කර ඇති අතර, පසුව මත්ද්‍රව්‍ය ජාවාරමට පිවිස ”ලොක්කන්ගේ ලොක්කා” යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
පැබ්ලෝ එස්කොබාර්ගේ මැඩලින් කල්ලිය ඇතුළු කොලොම්බියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සන්ධානගත වී මහා පරිමාණයෙන් අමෙරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීම ආරම්භ කළ පළමු පුද්ගලයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්ව ඇත්තේ.
2018 වසරේදී විකාශය වූ ජනප්‍රිය නෙට්ෆ්ලික්ස් කතා මාලාවක් වන 'Narcos: Mexico'හරහා ද ඔහුගේ ජීවිත කතාව ප්‍රතිනිර්මාණය කෙරුණා.




