රුසියාව සහ චීනය අතර පවතින්නේ ඉතා ශක්තිමත් මෙන්ම අසමසම මිතුදමක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ චීනයේ බීජිං නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීයි.

දෙරට අතර සබඳතා අන් කිසිදු කලෙකට වඩා දැන් ඉහළ මට්ටමක පවතින බව ද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද, චීනයට අවශ්‍ය බලශක්ති සම්පත් අඛණ්ඩව සැපයීමට රුසියාව විශ්වාසවන්තව කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

ඉකුත් වසර කිහිපය තිස්සේ රැසියාව සහ චීනය අතර වෙළෙඳ ගනුදෙනු අමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම, දෙරටේ ජනතාව වෙනුවෙන් හඳුන්වා දුන් වීසා රහිත සංචාරක ක්‍රමය හරහා සංස්කෘතික සහ ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වැඩිදුරටත් පැවසුවේ.

චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේද රුසියානු ජනාධිපතිවරයා ලෝක දේශපාලනය පිළිබඳව ද අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ, වත්මන් ජාත්‍යන්තර නොසන්සුන්තා හමුවේ රුසියානු-චීන සහයෝගීතාව ලෝක සාමයට සහ ස්ථාවරත්වයට ප්‍රධානම හේතුවක් වී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රික්ස් (BRICS) සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය හරහා දෙරට ඉදිරියටත් සමීපව කටයුතු කරනු ඇතැයි ද රුසියානු ජනාධිපතිවරයා කියා සිටියා.

සබදතා තවත් ශක්තිමත් කරගැනීම සදහා ලබන වසරේදී නිල සංචාරයක් සඳහා රුසියාවට පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීන ජනාධිපතිවරයාට සුහද ආරාධනයක් ද කළ බවයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.