දීර්ඝ කාලයක් තිස්සේ ඇදී යන රුසියානු - යුක්රේන යුද්ධය හමුවේ යුක්රේනයේ සිවිල් වැසියන් නැවතත් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.
පසුගිය අගෝස්තු 29 වනදා මයිලා ගම්මානයේ පිහිටි පතොරම් ගබඩාවකට රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊට අමතරව පසුගිය සැප්තැම්බර් 01 වනදා රට පුරා එල්ල වූ ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 12 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රුසියාව විසින් මෙහෙයුම් සඳහා ජෙට් බලගැන්වූ ඩ්‍රෝන බහුලව භාවිත කිරීම හේතුවෙන් මෙම ගිම්හාන සමයේදී සිවිල් මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
පැයට කිලෝමීටර් සිය ගණනක වේගයෙන් පියාසර කරන මෙම ඩ්‍රෝන යානා විනාශ කිරීම සාපේක්ෂව දුෂ්කර වී ඇති බවයි යුක්රේන ගුවන් හමුදාව පවසන්නේ.
යුක්රේන ගුවන් හමුදා ප්‍රකාශක යූරි ඉහ්නාට් සඳහන් කළේ, සාමාන්‍ය ඩ්‍රෝන යානා 90% කට වඩා විනාශ කිරීමට යුක්රේන ආරක්ෂක අංශ සමත් වුවද, මෙම ජෙට් ඩ්‍රෝන යානා විනාශ කිරීමේ හැකියාව පවතින්නේ 60% ක පමණ මට්ටමක බවයි.
ජූලි මාසයේදී මෙවැනි ඩ්‍රෝන යානා 1,500 ක් පමණ භාවිත කළ රුසියාව, අගෝස්තු මාසය වන විට එම සංඛ්‍යාව 2,800 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, අගෝස්තු මාසයේදී පමණක් රුසියානු සෙබළුන් 42,020 දෙනෙකු ජීවිතක්ෂයට හෝ තුවාල ලබා ඇති බව යුක්රේන ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.
රුසියාවේ භූමි ප්‍රදේශ අල්ලා ගැනීමේ වේගය සැලකිය යුතු ලෙස අඩුවී තිබුණද, ඔවුන්ගේ ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.
අගෝස්තු මාසයේදී පමණක් රුසියානු ගුවන් ආරක්ෂක අංග 33 ක් විනාශ කිරීමට යුක්රේන හමුදාව සමත් වී ඇති අතර, රුසියානු දේශසීමාවේ සිට කිලෝමීටර් 800 ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයකට ද සාර්ථකව ප්‍රහාර එල්ල කර තිබෙනවා.




