චීන ජනාධිපති ෂී ජින්පින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන ලෝක බලවතුන් චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවරදී පළමු වරට ඔවුනොවුන් හමුවී තිබෙනවා.

අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් චීනයට පැමිණ සිටින්නේ ​ඇපෙක් (APEC) සමුළුවට සහභාගී වීම සඳහායි.

ඊට සමගාමීව පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර රතු පලස මතදී රාජ්‍ය නායකයන් තිදෙනා අතට අත දී සුහදව පිළිගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වන විට නිකුත් වී තිබෙනවා.

2025 වසරේ අගෝස්තු මාසයේ ඇලස්කාවේ පැවති සමුළුවෙන් පසු අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකිනෙකා මුණගැසුණු පළමු අවස්ථාව ද මෙයයි.

​මෙම සංචාරය අතරතුර හෙට දිනයේදී චීන, අමෙරිකානු සහ රුසියානු රාජ්‍ය නායකයින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

ෂෙන්සෙන් නුවර පිහිටි 'කයිලින් විලා' (Kylin Villa) නම් රාජ්‍ය නිවාස සංකීර්ණයේදී දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ඒ වෙනුවෙන් පැයක පමණ කාලයක් වෙන්කර තිබෙනවා.

මෙම හමුවේදී චීනය සහ රුසියාව ඇතුළත් නව, නවීකරණය කළ අවි ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගෝලීය සාමය සම්බන්ධ කරුණු ද මෙහි ප්‍රමුඛ අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂිතයි.