FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අද පැවති තවත් තරඟයකදී ප්‍රබල ස්විට්සර්ලන්ත කණ්ඩායම සමඟ ලකුණු සම කර ගනිමින්, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ තමන් ලැබූ පළමු ලකුණ සටහන් කර ගැනීමට කටාර් රාජ්‍යය සමත් වුණා.

​තරගය පුරාවටම කැපී පෙනෙන වැඩි දක්ෂතා දැක්වූයේ ස්විට්සර්ලන්ත කණ්ඩායමයි.

පළමු භාගයේදී ඔවුන්ට ලැබුණු පෙනල්ටි අවස්ථාවකින් බ්‍රීල් එම්බෝලෝ ගෝලයක් ලබා ගත්තා.

ඉන් පසුවත් ස්විට්සර්ලන්තයට ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම ලැබුණත්, ඒවා සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වුණේ නැහැ.

​කෙසේ වෙතත් තරඟය ස්විට්සර්ලන්තය ජයගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබාගෙන සිටි අවස්ථාවකයි කටාර් කණ්ඩායම ගෝලයක් ලබාගත්තේ.

තරගයේ 94 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ කටාර්හි බෝලෙම් කුකී (Boualem Khoukhi), හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් මෙම ගෝලය ලබා ගත්තා.

ඒ අනුව තරගයේ අවසන් ප්‍රතිඵලය වූයේ ගෝල 1ට 1ක්.

​මීට වසර හතරකට පෙර තමන්ගේම රටේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී කටාර් රාජ්‍යය ඔවුන් සහභාගී වූ තරග තුනම පරාජය වුණා.

එසේ තිබියදී ස්විට්සර්ලන්තය හමුවේ අද ලැබූ ප්‍රතිඵලය කටාර් පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන අවස්ථාවක් බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.

කටාර් කණ්ඩායමේ ස්පාඤ්ඤ ජාතික පුහුණුකරු හුලන් ලොපෙටෙගු (Julen Lopetegui) ප්‍රකාශ කළේ තමන්ගේ ක්‍රීඩකයන්ගේ මේ නොසැලෙන මානසිකත්වය ගැන තමන් බෙහෙවින් ආඩම්බර වන බවයි.

කටාර් රාජය සහභාගි වන මීළඟ තරඟය ලබන 18 වනදා කැනඩාව සමග පැවැත්වෙනවා.

ස්විට්සර්ලන්තය සහභාගි වන මීළඟ තරගයද එදිනම පැවැත්වීමට නියමිතයි.

එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ බොස්නියාවයි.