ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෙනගාලය සමග අද පැවැත්වුණු තරගය ගෝල 3 ට 1 ක් ලෙස ජයගැනීමට ප්‍රංශය සමත් වුණා.

තරඟය පැවැත්වුණේ ​නිව් ජර්සි හිදී.

ප්‍රංශ කණ්ඩායමේ කිලියන් එම්බාපේ මෙම තරගයේදී වඩාත්ම කැපී පෙනුණු ක්‍රීඩකයා වුණා.

ගෝල දෙකක් ලබාගනිමින් ප්‍රංශ ජයග්‍රහණයට වැඩිම දායකත්වය ලබා දුන්නේ ඔහුයි.

මේ සමග කිලියන් එම්බාපේ පාපන්දු ඉතිහාසයේ ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාවක්ද අලුත් කළා.

මීට පෙර ප්‍රංශය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා ලෙස වාර්තාව පිහිටුවා තිබුණේ ඔලිවියර් ජිරූඩ්.

ඔහු ප්‍රංශය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරඟවලදී ගෝල 57ක් ලබාගෙන සිටියා.

නමුත් අද තරගයේදී ලබාගත් ගෝල දෙකක් සමග කිලියන් එම්බාපේ ලබාගෙන සිටින ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාව 58ක්.

තරගයෙන් පසු මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රංශ පුහුණුකරු ඩිඩියර් ඩෙෂෑම්ප්ස් ප්‍රකාශ කළේ, එම්බාපේ යනු ඕනෑම අවස්ථාවක තරගයක ඉරණම වෙනස් කළ හැකි සුවිශේෂී නායකයෙක් සහ ක්‍රීඩකයෙක් බවයි.

අද තරගයේදී ප්‍රංශය වෙනුවෙන් අනෙක් ගෝලය ලබාගත්තේ බ්‍රැඩ්ලි බාර්කෝලා විසින්.

මේ අතර මෙම තරඟයේදී​ සෙනගාල කණ්ඩායම ද ඉතා ඉහළ ක්‍රීඩා දක්ෂතා පෙන්නුම් කළ බවයි විචාරකයන් පවසන්නේ.

ආරම්භයේ සිටම ප්‍රබල ප්‍රංශ කණ්ඩායමට දැඩි අභියෝගයක් ලබාදීමට ඔවුන් සමත් වුණා.

ප්‍රංශ පසුපෙළ ආරක්ෂාව අඩපණ කරමින් ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම නිර්මාණ කර ගැනීමටද සෙනගල ක්‍රීඩකයන් සමත් වුණා.

නමුත් අවාසනාවන්ත ලෙස ඒවා සාර්ථක කරගැනීමට ඔවුන්ට හැකිවුණේ නැහැ. තවමත් 18 වන වියේ පසුවන ඉබ්‍රාහිම් ම්බායේ පමණක් සෙනගාලය වෙනුවෙන් ගෝලයක් ලබා ගත්තා.

තරගාවලියේ ​ප්‍රංශය සහභාගී වන ඊළඟ තරගය ලබන සඳුදා ඉරාකයට එරෙහිවත්, සෙනගාලය සහභාගී වන ඊළඟ තරගය ලබන අඟහරුවාදා නෝර්වේ කණ්ඩායමට එරෙහිවත් පැවැත්වීමට නියමිතයි.