සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශය ඉලක්ක කරගනිමින් එල්ල කිරීමට තැත් කළ තවත් හූති ඩ්‍රෝන යානයක් සාර්ථකව විනාශ කිරීමට සෞදි ප්රමුඛ සංයුක්ත හමුදා සමත්ව තිබෙනවා.
රියාද් නුවර කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ දරුණු හූති ප්‍රහාරයෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
ගුවන්තොටුපළට එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ගුවන්සේවා අධිකාරිය තහවුරු කළා.
මේ අතර මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, හූතිවරුන්ට එරෙහිව සෞදි අරාබිය ගෙන යන හමුදා මෙහෙයුම් සඳහා ඇමරිකාව සෘජුවම එක්වීම කෙරෙහි අවධානය යොමුකරන බවයි.
මේ සම්බන්ධයෙන් සෞදි අග්‍රාමාත්‍ය, ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සමඟ ඉදිරියේදී විශේෂ දුරකථන සාකච්ඡාවක නිරත වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා "නීතිවිරෝධී" මාර්ගයක ගමන් කළ තෙල් ප්‍රවාහන නෞකාවක් නාවික උමං බෝම්බයක ගැටී අලාභහානි සිදුව ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කළා.
එමෙන්ම, ඕමාන බොක්ක මුහුදු තීරයේදී නීතිවිරෝධී ලෙස ගමන් කළ වාණිජ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අක්‍රීය කිරීමට පියවර ගත් බව ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) තහවුරු කර තිබෙනවා.
මේ අතර ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පලස්තීන ව්‍යවස්ථාදායක මැතිවරණය 2027 වසරේ සැප්තැම්බර් 11 වනදා දක්වා කල් දැමීමට පලස්තීන ජනාධිපති මහ්මූද් අබ්බාස් තීරණය කර තිබෙනවා.
එමෙන්ම ජනාධිපතිවරණයද 2027 වසරේ එම දිනයේදීම පැවැත්වීමට පියවර ගන්නා බවයි පලස්තීන ජනාධිපතිවරයා නිවේදනය කර ඇත්තේ.




