අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළ තීර දෙකටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එරට බොහෝ ප්‍රදේශවල දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව විදුලි ඇනහිටීම් සහ ගුවන් ගමන් අවලංගු කිරීම් රැසක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ වන විට ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර, ගුවන් ගමන් දහසකට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබෙනවා.
ඒ අතරම, පාරිභෝගිකයන් නව ලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය ද ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.
නිවාඩු සති අන්තය තුළ අමෙරිකාවේ මිලියන අසූවකට වැඩි පිරිසක් සංචාරය කිරීමට සූදානමින් සිටින පසුබිමකයි මෙම කාලගුණික බලපෑම් එල්ල වී ඇත්තේ.
ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී මෙය හඳුන්වා දී ඇත්තේ ”අමෙරිකානු ගුවන් ගමන් ක්ෂේත්රයේ සුපර් බෝල් තරගය” ලෙසයි.
මේ අතර, එක් කුණාටුවක් මේ වන විට අමෙරිකාවේ නැගෙනහිර මුහුදු තීරය ඔස්සේ ඉදිරියට ඇදෙමින් පවතිනවා.
වර්ජිනියා ප්‍රදේශයට පැයට සැතපුම් හැත්තෑවේ සිට අසූව දක්වා වූ දැඩි සුළං වේගයන් වාර්තා වන බවද සඳහන්.
මේරිලන්ඩ් ප්‍රාන්තයේ මොන්ට්ගොමරි කවුන්ටියේ පුද්ගලයන් දෙදෙනකු සහ මිකැනික්ස්විල් ප්‍රදේශයේ කාන්තාවක විශාල ගස් නිවාස මතට කඩා වැටීමෙන් පසු ආරක්ෂිතව බේරා ගෙන තිබෙනවා.
මේ අතර, නිව්යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ මේසිස් ස්තුති දීමේ දින පෙළපාළිය සෙනසුරාදා දක්වා කල් දමා තිබෙනවා.
නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි පවසන්නේ එය දැඩි කුණාටුවක් වනු ඇති බවත්, සුළඟින් ගස් අතු සහ විදුලි රැහැන් බිම හෙළීමේ අවදානමක් පවතින බවත්ය.




