මැදපෙරදිග අර්බුදය හමුවේ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ වෙනිසියුලාව සැරසෙයි!
මැදපෙරදිග පවතින උත්සන්න වී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් ගෝලීය බොරතෙල් සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක, ඉන්දියාව සහ වෙනිසියුලාව අතර බලශක්ති ක්ෂේත්රයේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙරටේම අවධානය යොමු වී ඇත.
මේ සම්බන්ධයෙන් නවදිල්ලිය ප්‍රකාශ කර සිටින්නේ, මෙම අර්බුදකාරී වටපිටාව තුළ වෙනිසියුලාව විසින් ඉන්දියාව සිය බලශක්ති ක්ෂේත්රයේ ප්‍රමුඛතම හවුල්කරුවෙකු ලෙස සලකන බවයි.
වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් එරට ප්‍රබල අමාත්‍ය මණ්ඩල දූත පිරිසක් ද සමඟින් මේ වන විට ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටියි.
එහිදී ඇය පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී විශේෂ සාකච්ඡාවල නිරත වූවාය.
මෙම නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රුද්රේන්ද්ර ටැන්ඩන් කියා සිටියේ, දෙරට අතර සාකච්ඡාවල ප්‍රධාන අවධානය බලශක්ති ව්‍යාපෘතිවල ඉහළ සහ පහළ මට්ටම්වල සහයෝගීතාව වර්ධනය කර ගැනීම කෙරෙහි යොමු වූ බවයි.
"අපි වැඩ කරන්නේ ඉන්දියාව සමඟ දැඩි හවුල්කාරිත්වයක් අපේක්ෂා කරන, ඉතා හිතකාමී රජයක් සමඟයි. අපට ද අවශ්‍ය වන්නේ ඊට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිචාර දැක්වීමටයි," යනුවෙන් ලේකම් ටැන්ඩන් ප්‍රකාශ කළේය. "වෙනිසියුලාව යනු සාම්ප්රදායිකවම අපගේ සමීපතම මිතුරෙක්. අපි ජාත්‍යන්තර මට්ටමින් ඉතා සමීපව සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. එබැවින් අපි මේ සැරසෙන්නේ අපගේ සුපුරුදු සබඳතා මට්ටමට යළි අවතීර්ණ වීමටයි."
වෙනිසියුලානු ජනාධිපතිනියගේ මෙම ඉන්දීය සංචාරය එළඹෙන ජූනි 7 වනදායින් අවසන් වීමට නියමිත අතර, එම කාලය තුළ ඇය ඉන්දියාවේ පිහිටි ප්රමුඛ පෙළේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇත.
මීට අමතරව, ඇය ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හිදී එරට බලශක්ති ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියි.




