ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ආසන්නයේ සිදුවූ දරුණු දුම්රිය අනතුරෙන් පසු බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් තිබෙනවා.

අනතුරෙන් මියගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ජකර්තා නුවරට යාබද බෙකාසි දුම්රිය ස්ථානයේදී මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

මියගිය පිරිසට අමතරව තවත් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

අනතුර සිදුවූ ස්ථානයේ සුන්බුන් අතර තවදුරටත් පිරිස් සිරවී සිටිනවා.

ඔවුන් බේරාගැනීම සඳහා සහන සේවකයින් මෙහෙයුම් සිදුකරන බවයි ඉන්දුනීසියානු ජාතික සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ ඒජන්සිය පවසන්නේ.

දුම්රිය මැදිරිවලට දැඩි ලෙස හානි සිදුව තිබීම සහ ඉඩකඩ සීමිත වීම නිසා සහන සේවකයින්ට මෙම මෙහෙයුම් සිදුකිරීමට සිදුව ඇත්තේ ඉතා අසීරුවෙන්.

දුම්රිය බලධාරීන් පවසන පරිදි, දුම්රිය මංසන්ධියකදී මගී දුම්රියක් කුලී රථයක ගැටී නතර වී ඇති අතර, ඒ අවස්ථාවේදීම පිටුපසින් පැමිණි අධිවේගී දුම්රියක් එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මීට පෙර 2010 වසරේදී ද ඉන්දුනීසියාවේ මෙවැනි අනතුරක් සිදුවූ අතර එයින් මියගිය ගණන 36ක්.