ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණයෙන් පසුව ඉරානය සමග පවතින යුදමය වාතාවරණය වහාම අවසන් වනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරානයට තවදුරටත් යුදමය තත්ත්වයට මුහුණ දීමට නොහැකි බවත් ටෙහෙරානය සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමට ද ඉඩකඩ පවතින බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ඉරානයේ චබහාර් ප්‍රදේශයේ සිට ඕමාන් ගල්ෆ් සහ අරාබි මුහුදේ කොටස් දක්වා දිවෙන නාවික තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබෙනවා.
එම සීමාවන් හරහා ගමන් කරන ඕනෑම නෞකාවකට සම්බාධක පනවන බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.
මේ අතර ඉරානයේ සිරික් ප්‍රදේශයට ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර කේෂ්ම් දූපත ආසන්නයේ මුහුදු සීමාවෙන් ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් ඇසී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඉඩ නොදීමට එරෙහිව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය විසින් වසර 20 කට පසු පළමු වරට ඉරානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරමින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
ඇමරිකාව ඇතුළු බටහිර රටවල දේශපාලනික බලපෑම මත සම්මත කළ මෙම යෝජනාව ඉරානය දැඩි ලෙස හෙළා දකින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ




