ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය සහ පනවා ඇති මුහුදු අවහිරතා සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ අද අනාවරණයක් සිදු කළා.

අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ සන්නද්ධ බලකා ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් පවසන්නේ, ඉරානය සමඟ දැනට පවතින සටන් විරාමය අවසන් වුවහොත් ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කිරීමට තම හමුදාව සූදානම් බවයි.

ඉරාන වරායන් අවහිර කරමින් අමෙරිකාව පනවා ඇති නීති කඩකළ නෞකාවක් පිළිබඳවද මෙහිදී අනාවරණය කෙරුණා.

අද වන විට නෞකා 34ක් අමෙරිකානු නියෝග මත ආපසු හැරී ගියත්, ‘ටූස්කා‘ නම් නෞකාව එම නියෝග නොසලකා ඉදිරියට පැමිණ ඇති බවත් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

පැය 6ක් පුරා කළ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා, අමෙරිකානු හමුදාව එම නෞකාවේ එන්ජින් කාමරයට වෙඩි තබා එය අඩපණ කර කල බවයි ඔවුන් පවසා ඇත්තේ.

පසුව විශේෂ බලකාය විසින් එම නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය සිය භාරයට ගෙන ඇති බවයි ජෙනරාල් කේන් සඳහන් කළා.

ආරක්ෂක ලේකම් හෙග්සෙත් අවධාරණය කළේ, මෑතකදී ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී අත්අඩංගුවට ගත් නෞකා අමෙරිකාවට හෝ ඊශ්‍රායලයට අයත් ඒවා නොවන බවයි.

එමෙන්ම ඉරානයට තවමත් අවස්ථාවක් පවතින බවත්, කළ යුත්තේ ”පරීක්ෂා කළ හැකි මට්ටමින් තම න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ අතහැර දැමීම” පමණක් බවත් ඔහු සඳහන් කළා.

මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු නාවික හමුදාවට විශේෂ බලතල ලබා දී තිබෙනවා.

ඒ අනුව, හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඇටවීමට හෝ ගමනාගමනයට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම ඉරාන වේගවත් බෝට්ටුවකට කිසිදු පැකිලීමකින් තොරව ප්‍රහාර එල්ල කර විනාශ කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මේ අතර, අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පිළිබඳ අවිනිශ්චිතතාවක් පවතිනවා. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යවරයා අද රාත්‍රියේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිත බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

මේ අතරතුර, , ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට ද ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.

එසේ වුවත්, හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදාව එකිනෙකාට සටන් විරාම නීති කඩ කළ බවට දිගින් දිගටම චෝදනා කරමින් සිටිනවා.