අමෙරිකානු හමුදා විසින් ආසියා පැසිෆික් කලාපයේදී ඉරානයට සහාය දක්වන බවට සැකකෙරෙන, සම්බාධක පැනවූ M/T Tifani නෞකාව සිය පාලනයට නතු කරගෙන තිබෙනවා.

පෙන්ටගනය එනම් වර්තමාන 'යුද දෙපාර්තමේන්තුව' සඳහන් කරන පරිදි, මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ඉරානයේ නීති විරෝධී ජාලයන් අඩපණ කිරීමේ අරමුණ ඇතිවයි.

ඉරානයට ද්‍රව්‍යමය ආධාර සපයන නීති විරෝධී ජාලයන් සහ සම්බාධක පැනවූ නෞකාවන් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු හමුදා දියත් කරන සාගර බලාත්මක කිරීමේ මෙහෙයුම් යටතේ මෙම පියවර තිබුනා.

ට්‍රම්ප් පරිපාලනය විසින් 'යුද දෙපාර්තමේන්තුව' (Department of War) ලෙස යළි නම් කරන ලද පෙන්ටගනය X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ M/T Tifani නෞකාව ඊයේ රාත්‍රියේදී අමෙරිකානු හමුදා විසින් පරීක්ෂාවට ලක් කර අත්අඩංගුවට ගත් බවයි.

"අප මීට පෙර පැහැදිලි කළ පරිදි, ඉරානයට සහාය දක්වන නීති විරෝධී ජාලයන් සහ සම්බාධක පැනවූ නෞකා ලොව කුමන කලාපයක ක්‍රියාත්මක වුවද, ඒවා වැටලීමට සහ අඩපණ කිරීමට අප කටයුතු කරනවා."

මැද පෙරදිග පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ, ඉරානයට එරෙහි සම්බාධක දැඩි කිරීමට අමෙරිකාව පියවර ගෙන ඇති අතර, මෙම නෞකාව අත්අඩංගුවට ගැනීම එහි තීරණාත්මක පියවරක් ලෙස විදෙස් විචාරකයෝ පෙන්වා දෙනවා