මැදපෙරදිග කලාපයේ පවතින සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් ඉශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සංවිධානය අතර යළිත් ගැටුම් ඇවිළී තිබෙනවා.

දකුණු ලෙබනනයේ ස්ථානගත කර සිටි ඉශ්‍රායල සෙබළුන් ඉලක්ක කර හිස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ප්‍රවෘත්ති සේවය පැවසුවේ.

ඊශ්‍රායල හමුදාවන් ද වහාම ඊට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවෙහි සදහන්.

මේ පිළිබද අදහස් දක්වමින් හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය දිගින් දිගටම සටන් විරාමය උල්ලංඝනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මෙම ගැටුම් ආරම්භ වූයේ ඉකුත් මාර්තු 2 වැනිදායි.

ඒ එහේතුවෙන් මේ වන විට ලෙබනනයේ පුද්ගලයන් 2,454 දෙනෙකු මියගොස්, 7,650 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසනවා.

බෝම්බ ප්‍රහාරවලින් විනාශ වූ ප්‍රදේශවල සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකර බවත් ඔවුන් සුන්බුන් අතරින් මළසිරුරු ගොඩගන්නා බවත් ලෙබනනයේ සිටින මාධ්‍යෙව්දීන් කියා සිටියා.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළද ඉරානය පාර්ශවයෙන් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

ඉරාන සාකච්ඡා කණ්ඩායමේ උපදේශකයෙකු පවසා ඇත්තේ ට්‍රම්ප් මෙලෙස සටන් විරාමය දීර්ඝ කරන්නේ තවත් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කාලය ලබා ගැනීමට බවයි.

ඒ අනුව, යම් හෙයකින් ඇමරිකාව ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට දැඩිව ප්‍රතිප්‍රහාර දෙන බවට ඉරාන හමුදා ප්‍රකාශකයන් යළිත් අනතුරු අඟවා තිබෙනවා.