එන්වීඩියා (Nvidia) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං, චීන බුද්ධි අංශ වෙනුවෙන් සේවය කරන බවට සැක කෙරෙන කාන්තාවක සමඟ පෞද්ගලික සබඳතාවක් පැවැත්වූ බවට පළ වූ වාර්තා හේතුවෙන්, චීනයට දියුණු කෘත්‍රිම බුද්ධි (AI) චිප් ලබා ගැනීමට ඇති ඉඩකඩ සීමා කිරීමේ පියවරයන් කොංග්රස් මණ්ඩලය විසින් සම්මත කිරීමට ඇති ඉඩකඩ දැන් වැඩි වී ඇති බව නීති සම්පාදකයෝ පවසති.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හුවාං පවත්වන සමීප සබඳතා හේතුවෙන්, අමෙරිකාවේ දියුණු චිප් බීජිං පාලනය අතට පත්වී අමෙරිකාව සතු තාක්ෂණික ඉදිරිය ගිලිහී යනු ඇතැයි යන ජාතික ආරක්ෂක කනස්සල්ල තවත් තීව්ර වී තිබේ.
අනිවාර්යයෙන්ම සම්මත කළ යුතු වාර්ෂික ආරක්ෂක ප්‍රතිපත්ති පනත වන 2027 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට (National Defense Authorization Act) ඇතුළත් කිරීම සඳහා යෝජනා තුනක් මේ වන විට සලකා බැලෙමින් පවතී.
දියුණු චිප් අපනයනය සමාලෝචනය කිරීමට සහ අවශ්‍ය වුවහොත් ඒවා අවහිර කිරීමට කොංග්‍රසයට වැඩි බලයක් ලබා දීමට 'AI Overwatch පනත' මගින් යෝජනා කෙරේ.
චිප් ජාවාරම් කිරීම අවම කිරීමේ අරමුණින්, අලෙවියෙන් පසුවත් එම චිප් පිළිබඳව අධීක්ෂණය කිරීම සමාගම්වලට අනිවාර්ය කිරීම 'Chip Security පනත' මගින් අපේක්ෂා කෙරේ.
එමෙන්ම, චීනයට චිප් නිෂ්පාදන උපකරණ අලෙවි කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවන ලෙස අමෙරිකානු මිත්‍ර පාර්ශ්වයන්ට බලපෑම් කිරීම 'MATCH පනත' මගින් සිදු කෙරේ.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුව විසින් මෙම පනත් කෙටුම්පත් තුනම දැනටමත් අනුමත කර ඇති අතර, මේ වන විට ඒවා ආරක්ෂක පැකේජය පිළිබඳ සෙනෙට් සභා සාකච්ඡාවල කොටසක් බවට පත්ව ඇත.
කොංග්රස් මණ්ඩලයේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු පවසන පරිදි, 'Chip Security' සහ 'AI Overwatch' යන පනත්වලට දැඩි ලෙස විරුද්ධ වූ පාර්ශ්වයන් අතර එන්වීඩියා සමාගම ඉදිරියෙන්ම සිටී.
පසුගිය වසරේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චිප් ජාවාරම් සම්බන්ධ නඩු පැවරීමට පෙර, සැලකිය යුතු මට්ටමේ ජාවාරමක් සිදු නොවන බවත් සමාගම අපනයන නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන බවත් හුවාං සහ එන්වීඩියා සමාගම දිගින් දිගටම කියා සිටියහ. කෙසේ වෙතත්, වත්මන් ආන්දෝලනය පිළිබඳව අදහස් දැක්වීම එන්වීඩියා සමාගම ප්‍රතික්ෂේප කර ඇත.
මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඩිමොක්රටික් සෙනෙට් සභික එලිසබෙත් වොරන් සහ ඉන්දියානා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික ජිම් බෑන්ක්ස් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, හුවාං විසින් මෙම සබඳතාව තහවුරු කිරීමත් සමඟ ජාතික ආරක්ෂාව පිළිබඳ මෙම ගැටලු වඩාත් හදිසි අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවයි.
චීනයට දියුණු චිප් ලබා ගැනීමට ඇති මාර්ග අවහිර කිරීම සඳහා 'AI Overwatch පනත' වැනි ක්‍රියාමාර්ග ආරක්ෂක පනත තුළින් සම්මත කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
එන්වීඩියා සමාගමේ චීන අපනයන බලපත්‍ර අත්හිටුවීමට හෝ නැවත ඇගයීමට ලක් කිරීමට සහ පුළුල් ආරක්ෂක සමාලෝචනයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස මෙම සෙනෙට් සභිකයින් දෙදෙනා පසුගිය මාර්තු මාසයේදී ද වාණිජ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණි.
ඉලිනොයිස් ප්‍රාන්තයේ නියෝජිත බිල් ෆොස්ටර් ද මෙම අදහසට සහාය පළ කරමින් සඳහන් කළේ, තමා සහ මිචිගන් ප්‍රාන්තයේ නියෝජිත බිල් හුයිසෙන්ගා එක්ව ඉදිරිපත් කළ 'Chip Security පනත' කමිටුවේදී ඒකමතිකව සම්මත වූ බවත්, එය දැන් අවසන් කළ යුතු බවත්ය. ප්‍රබල AI චිප් වැරදි පුද්ගලයින් අතට පත්වීම වැළැක්වීමට අවශ්‍ය මෙවලම් කොංග්‍රසය සතුව ඇති බව ෆොස්ටර් සඳහන් කර ඇත.
මෙම පනත් කෙටුම්පත්වලට සහාය දක්වන 'Americans for Responsible Innovation' සංවිධානයේ ක්‍රිස් මැකෙන්සි පැවසුවේ, දැනට ඉතිරිව ඇති ප්‍රධානතම බාධාව ධවල මන්දිරයේ සහාය ලබා ගැනීම බවයි.
මේ වන විට හෙළිදරව් වී ඇති සියලු කරුණු හමුවේ, චීනයට චිප් ලබා දීම සීමා කිරීම සම්බන්ධයෙන් කොංග්‍රසය සමඟ පවතින ගැටුමකදී එන්වීඩියා සමාගමට පක්ෂව කටයුතු කිරීම ධවල මන්දිරයට දැඩි අවාසිදායක වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.




