කැනඩාව තුළ සක්‍රියව පවතින බවට කියැවෙන චීන රහස් පොලිස් ස්ථාන ජාලය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස කැනඩාවේ නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙනී ක්වාන් රජයෙන් ඉල්ලා සිටියි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ එරට මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී සහ විදේශීය බලපෑම් පිළිබඳ කොමසාරිස් ඇන්ටන් බෝග්මන් වෙත යොමු කළ විවෘත ලිපියකය.
ලෝරා හාර්ත් විසින් සකස් කරන ලද "A Formula for Repression – China’s Global Grid for Community Control" නමැති අලුත්ම වාර්තාව පදනම් කරගනිමින් මන්ත්‍රීවරිය මෙම ඉල්ලීම කර ඇත.
එම වාර්තාවට අනුව චීන ප්‍රාන්ත 5 ක පොලිස් බලකායන් 10 කට වැඩි ප්‍රමාණයක් මෙම ජාලයට සම්බන්ධ වී තිබේ.
ඒවායේ ප්‍රධාන අරමුණ වන්නේ විදේශගතව සිටින චීන ප්‍රජාව පාලනය කිරීම සහ ඔවුන් කෙරෙහි බලපෑම් එල්ල කිරීමයි.
පූර්ව වාර්තා අනුව 2022 වසරේදීද රටවල් 50 කට වැඩි ප්‍රමාණයක මෙවැනි රහස් පොලිස් ස්ථාන 100 කට අධික සංඛ්‍යාවක් පවතින බව හෙළි විය.
මීට පෙර කැනඩාවේ රිච්මන්ඩ්, ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් යන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ මෙවැනි කණ්ඩායම් පිළිබඳව කැනඩා රාජකීය අශ්වාරෝහක පොලිසිය විමර්ශන පැවැත්වුවද කිසිවෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළේ නැත.
නමුත් 2022 න් පසුවද මෙම මෙහෙයුම් කැනඩාව තුළ ව්‍යාප්ත වී ඇත්දැයි සොයා බැලීම රජයේ වගකීමක් බව පෙන්වා දෙන ක්වාන්, කැනඩාවේ වෙසෙන චීන, හොංකොං, උයිගර් සහ තායිවාන ප්‍රජාවන්ට එල්ල වන තර්ජනවලින් ඔවුන්ව ආරක්ෂා කළ යුතු බව අවධාරණය කරයි.




