චීනය පුරා කෘතිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සේවකයන්ගේ රැකියා අහිමි වෙමින් පවතින බවත්, එයින් වැඩිම බලපෑමක් තරුණ පරපුරට එල්ල වී ඇති බවත් 'ඇසෝසියේටඩ් ප්‍රෙස්' (AP) පුවත් සේවය වාර්තා කරයි.

චීන රජය විසින් රටේ ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම පාහේ කෘතිම බුද්ධිය බද්ධ කිරීමට පියවර ගැනීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

බීජිං නුවර ආයතනයක සේවය කළ 40 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන ෆෙයි ෂාඕජුන්ගේ ප්‍රධානියා, පරිගණක කේතකරණ කටයුතු AI තාක්ෂණය මඟින් සිදු කළ හැකිදැයි ප්‍රශ්න කිරීමෙන් සති දෙකකට පසුව ඔහුටද රැකියාව අහිමි විය.

ඔහු සමඟ තවත් සේවකයන් 160 දෙනෙකු පමණ එකවර සේවයෙන් පහකර ඇත.

"බොහෝ අවස්ථාවලදී මධ්‍යම මට්ටමේ කේතකරණ ශිල්පීන්ගේ රැකියා වෙනුවට AI යෙදවීම ඉතා පහසුයි," යැයි ෆෙයි පවසයි.

රැකියාව අහිමි වීමෙන් පසු ඔහු මේ වන විට කෙටි වීඩියෝ නිර්මාණය කරමින් සිය ඉදිරි අනාගතය පිළිබඳව තීරණයක් ගැනීමට සූදානම් වෙමින් සිටියි.

'IDC' වෙළඳපොළ පර්යේෂණ ආයතනයට අනුව, 2024 වසරේදී චීන කාර්මික ව්‍යවසායයන්ගෙන් AI තාක්ෂණය සහ ඒජන්තවරුන් (AI agents) භාවිත කළේ 9.6% ක් වැනි සුළු ප්‍රතිශතයක් වුවද, පසුගිය වසර වන විට එම අගය 47.5% දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව AP පුවත් සේවය පෙන්වා දෙයි.

තැපැල් පහසුකම් මධ්‍යස්ථානවල පාර්සල් වෙන් කිරීමේ කටයුතු සඳහා මානව රූපී රෝබෝවරුන් යොදාගැනීම දැනටමත් ආරම්භ කර ඇති අතර, මීට පෙර මිනිසුන් විසින්ම පමණක් සිදු කළ රථවාහන පාලනය වැනි කටයුතු සඳහාද රෝබෝවරුන් යෙදවීම සිදුවේ.

මීට අමතරව, චීනය පුරා ස්වයංක්‍රීය ආහාර බෙදාහැරීමේ රෝබෝවරුන් ප්‍රචලිත වීමත් සමඟ, එම ක්ෂේත්‍රයේ සේවය කරන මිලියන සංඛ්‍යාත සේවකයන්ගේ අනාගත රැකියා සුරක්ෂිතතාව පිළිබඳව ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.