මධ්‍යම සමුත් ප්‍රාකන් (Samut Prakan) පළාතේ පිහිටි තායිලන්තයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළක ස්වයංක්‍රීය වීදුරු දොරටුවකට හානි කළ බවට එල්ල වූ චෝදනා හේතුවෙන්, චීන ජාතිකයෙකුට නැවත කිසිදිනක තායිලන්තයට පැමිණීම ස්ථිරවම තහනම් කර තිබේ.

30 හැවිරිදි මෙම පුද්ගලයා ගුවන් තොටුපළේ ආගමන විගමන අංශයේ ඇති ස්වයංක්‍රීය දොරටුව භාවිතා කිරීමේදී ලබා දී තිබූ උපදෙස් පිළිපැදීමට අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

එම යන්ත්‍රය අක්‍රිය වූ අවස්ථාවේදී, ඔහු චීනය බලා යන තම ගුවන් යානයට ගොඩවීම සඳහා යන අතරතුර වීදුරු බාධක දෙකකට පයින් ගසා එම උපකරණවලට හානි කර ඇති බව 'බැංකොක් පෝස්ට්' පුවත්පත වාර්තා කළේය.

ඔහු එය නිවැරදිව භාවිතා කිරීමට අපොහොසත් වීමෙන් පසු දෙවන වරටත් එම වීදුරු ද්වාරයට පයින් ගසා ඇති අතර, අවශ්‍ය ආගමන විගමන ක්‍රියාවලිය සම්පූර්ණ නොකර බලහත්කාරයෙන් එතැනින් ඉදිරියට ගොස් ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ ඔහු බාධකවලට පයින් ගසා ඒවා අතරින් බලහත්කාරයෙන් යාමට පෙර තම ගමන් බලපත්‍රය (travel document) එහි වේගයෙන් ගසන අයුරුයි.

දේශීය පුවත් වාර්තාවලට අනුව, බලධාරීන් වහාම මැදිහත් වී ඔහුව මෙල්ල කර ඇති අතර, දේපළ හානි කිරීම සම්බන්ධයෙන් ඩොලර් 15,000ක් දක්වා දඩයක්, වසර තුනක් දක්වා සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවිය හැකි පරිදි චෝදනා එල්ල කර ඇත.

රාජකාරියේ නියුතු නිලධාරීන්ට අපහාසාත්මක ලෙස බැණ වැදීමේ චෝදනාව ද මෙම පුද්ගලයාට එල්ල වී ඇති අතර, එය උසාවියේදී ඔප්පු වුවහොත් වසරක් දක්වා සිරදඬුවමක්, ඩොලර් 600ක (බාත් 20,000ක) දඩයක් හෝ ඒ දෙකම පැනවිය හැකි වරදකි.

වාර්තා වන අන්දමට නිලධාරීන් විසින් ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර ඇති අතර, ඔහු ස්ථිර අසාදු ලේඛනයකට (permanent blacklist) ඇතුළත් කරමින් නැවත තායිලන්තයට ඇතුළු වීම තහනම් කර තිබේ.