දශක පහකට අධික කාලයක් තමිල්නාඩු දේශපාලනය හෙබවූ ද්‍රවිඩ පක්ෂ ද්විත්වයේ DMK සහ AIADMK ආධිපත්‍යය බිඳ දමමින්, තමිලග වෙට්ට්‍රි කසාගම් හෙවත් TVK පක්ෂයේ නායක චන්ද්‍රසේකර් ජෝසප් විජේ අද තමිල්නාඩුවේ 9 වන මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නා.
ඔහු සිය නිලයේ දිවුරුම් දුන්නේ චෙන්නායි හි ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති අති උත්කර්ෂවත් උත්සවයකදී, ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් ඉදිරියේයි.
සිය මංගල මැතිවරණයේදීම ආසන 108ක් දිනා ගනිමින් වාර්තාවක් තැබූ TVK පක්ෂය, මේ වන විට මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහය ලබාගෙන තිබෙනවා.
ඒ අනුව 1967 වසරෙන් පසු DMK සහ AIADMK සන්ධානයෙන් බැහැරව රජයක් පිහිටුවූ පළමු නායකයා බවට විජේ පත්වුණා.
විජේ සමඟ නව අමාත්‍යවරුන් නව දෙනෙකු දිවුරුම් දුන් අතර, ඊට කාන්තා නියෝජනයක් ද ඇතුළත්.
සිය මංගල කතාව සිදුකරමින් සාම්ප්‍රදායික ද්‍රවිඩ දේශපාලනයට විකල්පයක් ලෙස තමන්ව හඳුන්වා දුන් විජේ, සිය දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාවට සහතික වූයේ "දූෂණයෙන් තොර, විනිවිදභාවයකින් යුතු පාලනයක්" තමිල්නාඩුවට ලබා දෙන බවයි.
ද්‍රවිඩ සංස්කෘතිය ආරක්ෂා කරන අතරම තාරුණ්‍යයට වැඩි අවස්ථා ලබා දෙන නව යුගයක් ආරම්භ කරන බවට ඔහු මෙහිදී පොරොන්දු වුණා.
ඔහුගේ මංගල කතාවේදීම ජනතාවට පොරොන්දු රැසක් ලබා දීම විශේෂත්වයක්.
ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා මාසිකව විදුලි ඒකක 200ක් දක්වා නොමිලේ ලබා දීමට විජේ දුන් පොරොන්දුව ඒ අතරින් කැපී පෙනෙනවා.
කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවන බවත් ප්‍රාන්තය පුරා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මර්දන ඒකක ස්ථාපිත කරන බවත් විජේ පවසා තිබෙනවා.
දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනතාව ඇමතූ විජේ වැඩිදුරටත් පැවසුවේ "මම කිසිදු රාජකීය පරම්පරාවකින් පැවත එන්නෙක් නොවයි, ඔබ මාව පිළිගත්තේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදිහටයි.
මම ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට මට සාධාරණ කාලයක් ලබා දෙන්න." යැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
පසුගිය DMK රජය විසින් ප්‍රාන්තය රුපියල් ට්‍රිලියන 10ක ණය බරකට ඇද දමා ඇති බව චෝදනා කළ මහ ඇමතිවරයා, ඉදිරියේදී ප්‍රාන්ත මූල්‍ය තත්ත්වය පිළිබඳ "ධවල පත්‍රිකාවක්" නිකුත් කරන බව ද අවසානයේ පැවසුවා.



