අමෙරිකාවේ ධවල මන්දිරය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරුවෙකු ආරක්ෂක නිලධාරීන් සමග වෙඩි හුවමාරුවකදී මිය ගිය බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ.
සැකකරු ආරක්ෂක නිලධාරීන් වෙත වෙඩි තබා ඇති අතර ආරක්ෂක නිලධාරීන් ඊට ප්‍රති ප්‍රහාර සිදුකර තිබෙනවා. වෙඩි හුවමාරුව ඇති වී තිබෙන්නේ ඒ අනුවයි.

මියගිය සැකකරු 21 වියේ පසු වූවකු බවත් ඔහු නසීර් බෙස්ට් නමැත්තෙකු බවත් හඳුනාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මානසික ව්‍යාකූලතා පිළිබඳ වාර්තා තිබෙන්නෙකු බව ද සඳහන්.

ධවල මන්දිරය ආසන්නයේ 17වන වීදිය සහ පෙන්සිල්වේනියා මාවත අසලදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. සැකකරු තම බෑගයෙන් ගිනි අවියක් රැගෙන වෙඩි තැබීම ආරම්භ කර ඇති බවයි ඇමරිකානු ආරක්ෂක අංශය පවසන්නේ. ප්‍රති ප්‍රහාරවලින් සැකකරු තුවාල ලබා ඇති අතර ඔහු මිය ගොස් ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවයි.

මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.

සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ධවල මන්දිරය තුළ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු මේ වනතෙක් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

වෙඩි තැබීමෙන් අනතුරුව ධවල මන්දිරයේ සිටි මාධ්‍යවේදීන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මාධ්‍යවේදීන් පවසා ඇත්තේ වෙඩි හඬ කිහිපයක්ම ඇසුණු අතර, වහාම ආරක්ෂක අංශ විසින් “ඇතුළට යන්න” ලෙස දැනුම් දුන් බවයි.

මේ අතර, මියගිය සැකකරු මීට පෙර 2025 වසරේදී ධවල මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.එම සිද්ධියෙන් පසු ඔහු මානසික සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකද රඳවා සිට ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙන අතර, ධවල මන්දිරය අවට මාර්ග කිහිපයක් තවදුරටත් වසා දමා ඇති බවද වාර්තා වනවා.