පකිස්ථානයේ රැඳී සිටින ඇෆ්ගන් ජාතිකයින් "බලහත්කාරයෙන්" ආපසු ඔවුන්ගේ රට වෙත පිටුවහල් කිරීමට පකිස්ථාන රජය ගෙන ඇති පියවර පිළිබඳව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලය (UNHCR) සිය දැඩි කනස්සල්ල පළ කර සිටී.
මේ අතර, ලන්ඩි කෝටල් හි පිහිටි දේශසීමා සංක්‍රමණික මධ්‍යස්ථානයකින් ලැබුණු දත්තවලට අනුව, පසුගිය දින කිහිපය තුළ ආපසු සිය රට බලා යන ඇෆ්ගන් සරණාගතයින්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ලන්ඩි කෝටල් හි හම්සා බාබා සංක්‍රමණික මධ්‍යස්ථානයේ නිලධාරීන් ප්‍රකාශ කළේ, පකිස්ථාන භූමියේ සිටින සියලුම ඇෆ්ගන් ජාතිකයින්ට එළඹෙන ජූලි 10 වැනිදාට පෙර ආපසු තම රට බලා යන ලෙස රජය නියෝග කිරීමත් සමඟ, දෛනිකව දේශ සීමාව පසු කරන පිරිස 10,000 ඉක්මවා ගොස් ඇති බවයි.
Dawn පුවත්පත වෙත අදහස් දක්වමින් පකිස්ථානයේ UNHCR ප්‍රකාශක කයිසර් ඛාන් අප්රිඩි කියා සිටියේ, ඇෆ්ගන් සරණාගතයින් සහ රැකවරණය පතා පැමිණි පිරිස් බලහත්කාරයෙන් ආපසු හරවා යැවීමට පකිස්ථාන රජය ගෙන ඇති තීරණය පිළිබඳව අප දැඩි සේ කනස්සල්ලට පත්වන බවයි.
පකිස්ථානය තමන්ටම ආවේණික අභියෝග රැසක් මධ්‍යයේ වුවද, වසර 45කට වැඩි කාලයක් පුරා ඇෆ්ගන් සරණාගතයින් ලැදියාවෙන් යුතුව රැකබලා ගැනීම පිළිබඳව සිය ආයතනයේ ප්‍රණාමය හිමිවන බව පැවසූ අප්රිඩි, එසේ වුවද තමන්ගේ ජීවිතවලට හෝ නිදහසට තර්ජනයක් පවතින රටක් වෙත සරණාගතයින් බලහත්කාරයෙන් හරවා නොයැවිය යුතු බව අවධාරණය කළේය.
"විශේෂයෙන්ම මානව හිමිකම් දැඩි අවදානමකට ලක්ව ඇති රටක් වෙත ඇෆ්ගන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් මෙන්ම අනෙකුත් අවදානම් කණ්ඩායම් බලහත්කාරයෙන් පිටුවහල් කිරීම පිළිබඳව UNHCR ආයතනය දැඩි අවධානයෙන් පසුවනවා," යැයි පැවසූ ඔහු, ඇෆ්ගන් ජාතිකයින් ආපසු තම රට බලා යැවීමේ ඕනෑම ක්‍රියාවලියක් ස්වේච්ඡාවෙන් සිදුවන, ආරක්ෂිත මෙන්ම ගෞරවනීය එකක් විය යුතු බවට බලධාරීන් සහතික විය යුතු යැයි ඉල්ලා සිටියේය.
ලන්ඩි කෝටල් සහ තෝර්කාම් දේශසීමා නිලධාරීන් සඳහන් කරන්නේ, රජය විසින් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි පවතින බිය හේතුවෙන්, නිසි අනන්‍යතා ලියකියවිලි සහිත හෝ රහිත ඇෆ්ගන් ජාතිකයින් විශාල වශයෙන් මේ වන විටත් ආපසු තම රට බලා යාම සඳහා දේශසීමා දොරටු වෙත ඇදී එමින් පවතින බවයි.



